‘අතට’ නිවනක් නැති වැඩ බලන සභාපති !!
අතේ ඇඟිලි එකිනෙකට වෙනස් , එහෙත් මහපටැඟිල්ලේ පිළිමල්භාවය වැනි කාරණා නිසා ඒ වෙනස් වෙනස් ඇඟිලි එක්ව කටයුතු කිරීමේ හැකියාව නිසාම මිනිසා වානරයාගෙන් සුවිශේෂී ලෙස වෙනස් වූවා පමණක් නොව ඉතිහාසයක් පුරා ලද අපමණ මානව ජයග්‍රහණ වලට ද හේතුවක් වුණා.
ඒත් ඔබ මා දන්නා මේ ‘අතේ’ කථාව වෙනස්. අත පාටිය හෙවත් ශ්‍රිලනිපය දැන් රට ඉදිරියේ ජෝක් එකක් වී හමාරයි.
ඒකට දැන් වැඩ බලන සභාපතිලා දෙන්නෙක්…. වැඩ බලන ලේකම්ලා දෙන්නෙක්….. එහෙම ඉන්නවා.
නැත්තේ බලන්න වැඩ විතරයි.
මේ අය බලන එකම වැඩේ ඩාර්ලි පාරේ පක්ෂ මහ ගෙදරට තමන් එකිනෙකා දාපු ඉබ්බන්ගේ යතුරු වැඩ කරනවද කියන එක විතරයි.
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක අධිකරණය ඉදිරියට ගොස් මෛත්‍රීපාල සිරිසේන ගේ පක්ෂ සභාපතිත්වය අත්හිටුවීමේ නියෝගයක් ගැනීමත් සමඟ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන ශ්‍රිලනිප පාර්ශවය වැඩ බලන සභාපති ලෙස නිමල් සිරිපාල ව පත් කරගත් අතර, මෛත්‍රීපාල පාර්ශ්වය විසින් කොහෙන්දෝ පැමිණි විජයදාස රාජපක්ෂව වැඩ බලන සභාපති ලෙස පත් කරගෙන ඇත.
මේ වැඩ බලන සභාපතිලා දෙන්නා එක දෙයකින් බෝහෝ සමානය. ඒ මොන ආණ්ඩුව ආවත් ඇමතිකම් දැරීම අතින්ය.
නමුත් නිමල් සිරිපාල කෙසේවෙතත් විජයදාස රාජපක්ෂ දත කට මැදගෙන ඉන්නේ ශ්‍රිලනිප ය හරහා ජනාධිපතිවරණය ට පැමිණීමට කෙසේ වෙතත් එහි පාලනය ඩැහැගෙන ඊලඟ සැරේ පාර්ලිමේන්තුවට රිංගීමේ පාර කපා ගැනීමට ය.
අත පාටියේ මේ විලි ලැජ්ජා නැති විගඩම් ටික පක්ෂ දේශපාලනය කෙරෙහි කලකිරී සිටින ලාංකේය මහජනතාවට එය තව දුරටත් එපා කරවන්නකි. මේ ආකාරයේ සිල්ලර වැඩ අත පාටියට මෙන්ම ලංකාවේ අනෙකුත් පක්ෂ වලට ද නුහුරු නුපුරුදු ඒවා නොවූ වත් මෙවර ඩාර්ලි පාරේ රඟ දැක්වෙන කෝලම ජුගුප්සාජනක ය.