‘අතේ’ පත්තු වන බෝම්බය!

‘අතේ’ පත්තු වන බෝම්බය!

මේ නාටකය හරි හැටි තේරුම් ගැනීමට මෑතකාලීනව ඒ ආශ්‍රිතව මතු වූ තත්ත්වයන් නැවත කෙටියෙන් හෝ පෙළගැස්විය යුතු ය.

 ශ්‍රීලනිපය මුල් වී සන්ධානයක් බිහිකිරීමට යයි.

එයට ශ්‍රිලනිපය + එහි අමාත්‍යධූර දරන පිරිස + අනුර යාපා පිල + චම්පික රණවක ගේ පක්ෂය මුල්වන බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මුල් වී බුලත් කොළය හෝ පුටුව ලකුණින් නව ජනාධිපති අපේක්ෂකයකු ගෙන එන බව ද කියයි.

  සන්ධාන පාර්ශ්වයන් තුළ මෛත්‍රීපාල සිරිසේන අරඹයා ගැටලු මතුවේ.

  චන්ද්‍රිකා සන්ධාන වැඩෙන් ඉවත්වන බව කියයි.

 බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණ මහ මැතිවරණයක් මුලින්ම පැවැත්විය යුතු බව කියයි.

මෛත්‍රීපාල සිරිසේන පාස්කු සිදුවීම සම්බන්ධ සැඟවුන කථාවක් හදිසියේ එළියට ගනී.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමක් කැඳවා ආණ්ඩුව ට සම්බන්ධ වී සිටින මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ව පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරයි.

එම ඉවත්කිරීම වලක්වමින් අධිකරණය හරහා වාරණ නියෝගයක් නිකුත් වේ.

මෛත්‍රීපාල සිරිසේන ගේ ශ්‍රිලනිප සභාපතීත්වය අත්හිටුවන ලෙස ඉල්ලා චන්ද්‍රිකා කුමාරතුංග විසින් අධිකරණයෙන් නියෝගයක් ලබා ගනී.

මේ ශ්‍රිලනිපය තුළ මතු වෙමින් තිබෙන අලකලංචියේ දිගහැරුමයි.  මේ හේතුවෙන් ම ඩාර්ලි පාරේ හරි කළබල ය.

මෛත්‍රීපාලව සභාපතිකමෙන් ඉවත් කළාට පසු ඩාර්ලි පාරේ කාර්යාලයට ආව ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර මාධ්‍ය අමතමින් කියා සිටියේ කාලයක් පුරා ගොඩ නැගීම ට උත්සහ දැරූ සන්ධානය දැන් පිහිටුවිය හැකි බවය. ඒ ඊට තිබූ බාධාව මෛත්‍රීපාල සිරිසේන බවට චෝදනා කරමිනි. මේ පාර්ශ්වය සැකයකින් තොරවම චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ සහය ලබන බව පේන්නට ඇත.

මේ අතර තමන්ට ශ්‍රිලනිප නායකත්වය ලබා දෙන ලෙස එහි හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත.

ශ්‍රිලනිපය ලංකා දේශපාලනයේ දැනට සිටින බහුතරයකගේ තිඹිරි ගෙය බව අවිවාදිතය.  එබැවින් දේශපාලනයේ විසිරී සිටින බොහෝ දෙනෙකුට ශ්‍රිලනිප ය නවාතැනක් කල හැකි තැනකි. එමෙන්ම ලංකාවේ ජයග්‍රාහී සන්ධාන රැසක් බිහි වී ඇත්තේ ශ්‍රිලනිප මුල් කරගෙන ය.

මෙවර එම සන්ධානය රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවන පහුර බවට පත්කරලීමට ඇතැමුන් කටයුතු කරන්නට වෙහෙසෙන නමුත්, නිශ්චිත ලෙසම ජනතාව ප්‍රතික්ෂේප කර ඇති ඔහු ජනාධිපතිවරණය ට ඉදිරිපත් නොවන පසුබිමක ඉදිරි ජනාධිපතිවරණයේ නියත පොදු අපේක්ෂකයා බිහිවනු ඇත්තේ මෙම ශ්‍රිලනිප මුල්කරගෙන ඇතිවන සන්ධානය තුළ ය.

ලාංකේය දේශපාලනයේ තවත් තීරණාත්මක මොහොතක ශ්‍රිලනිප භූමිකාව එහි සැළකිය යුතු ඉඩක් අත්පත් කර ගැනීමට තවමත් ඉඩකඩ ඇත. ඇතැම්විට මේ විවර වන්නේ ඒ අවස්ථාව ද විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *