අනුරගේ ආණ්ඩුවේ පත් කිරීම් ප්‍රශ්න සහගතයි. කලින් හිටි අය කළ වැරදි නොකරන්නයි මේ අය ආවෙ.

අනුරගේ ආණ්ඩුවේ පත් කිරීම් ප්‍රශ්න සහගතයි. කලින් හිටි අය කළ වැරදි නොකරන්නයි මේ අය ආවෙ.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු කරන ලද පත් කිරීම් විමසා බැලීමේ දී ඔහු විශ්වාසවන්තභාවය පදනම් කරගෙන මිතුරන්ට තනතුරු දී ඇති බවක් නිරීක්ෂණය වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පවසයි.

ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම්වරයා පත්කිරීම පවා ප්‍රශ්න සහගත බව ය.

“දැන් ජනාධිපති ලේකම් පත් කරපු එකෙත් අවුලක් තියෙනවා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉස්සරත් ඔයිට වඩා වැරදි සිද්ධ වුණා කියලා. ඒත් කලින් හිටිය කට්ටිය කරපු වැරදි නොකරන්න නේ මේගොල්ලෝ ආවේ,” මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පැවසීය.

ඇය පෙන්වා දුන්නේ, විශ්වාසවන්ත බව කියමින් මිතුරන් තනතුරුවලට පත්කිරීමෙන් “කාර්ය ශූර රාජ්‍ය සේවයක් පවත්වාගෙන යා නොහැකි,” බව ය.

“විශ්වාසවන්ත අය දානවා කියල කියනවා. විශ්වාසවන්ත අය කියන්නේ මිත්‍ර සංග්‍රහ, ඥාති සංග්‍රහ නම් එතකොට රාජ්‍ය සේවයක් මොකට ද? රාජ්‍ය සේවයේ ඉතා ම කෘතහස්ත මිනිස්සු ඉන්නවා නේ. සමහර අය දේශපාලන පළිගැනීම්වලට ලක් වෙලා තමන්ගේ හැකියාවන් පෙන්නගන්න බැරුව ඉන්නවා. ඒ වගේ අයව අරගන්නෙ නැතුව, ඒගොල්ලන්ට යම්කිසි අවස්ථාවක් දෙන්නෙ නැතුව කාර්යශූර රාජ්‍ය සේවයක් කොහොම ද පත්වාගෙන යන්නේ?”

“මේ පත් කරපු සමහර අය ශ්‍රේණි අනුව පහළ මට්ටම්වල ඉන්න අය. ඒක සාර්ථක වෙයි ද?” මහාචාර්යවරිය ප්‍රශ්න කරයි.

ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණු ආචාර්ය නන්දික සනත් කුමානායක ශ්‍රේණි මට්ටමින් පහළ අයෙකු බවත්, ඔහුට වඩා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සිටියදී එම පත්කිරීම සාධාරණ නොවන බවත් මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පවසයි.

මේ අතර, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී අනුර කුමාර දිසානායකගේ මිත්‍රයෙකු බවට ද ඇතැම් මත පළවී තිබේ.

කෙසේ වෙතත්, එහි සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි වූයේ නැත.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට වෛද්‍යවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළවෙමින් තිබේ.

එම ධූරයට පත් කරන ලද නජිත් ඉන්දික වෛද්‍යවරයෙකු බවත්, මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහුට අත්දැකීමක් නොමැති බවත් ඇතැමෙකුගේ අදහස යි.

රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙකු සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, වෛද්‍ය නජිත් ඉන්දික ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලන ක්‍රියාකාරියෙකු ද වූ බව ය.

BBC සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *