අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධය කුමක් ද?

අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධය කුමක් ද?

ජාතික ජන බලවේගයේ නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අතර පවතින හිතවත්කම පිළිබඳ කතා ඇසෙන්නට වූයේ අද ඊයේ නොවේ. ඒ පිළිබඳ මුලින් ම කරුණු කීවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහ ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ ය.

‘රතු අලි පැටව්’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් හඳුන්වනු ලැබුවේ ද නිකම්ම නොවේ. විශේෂයෙන් ම මින් කලකට පෙර එජාපයේ රවී කරුණානායක සහ මලික් සමරවික්‍රම හරහා ජවිපෙ අනුර කුමාර දිසානායකලා සිදු කරගත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පුවත් පල වී තිබිණ.

අද රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ, තමන් දිනන්නට නොවන බව පැහැදිලි ය. එදා සිට ම සජිත් ප්‍රේමදාස පැරදවීම සඳහා සියලු කටයුතු කළ රනිල්, අද ප්‍රකාශ කරන්නේ තම මිත්‍ර අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පරයා ජයග්‍රහණය කරන බව ය. ඒ සඳහා ඔහු උදව්පදව් ලබා දෙන බව නොරහසකි. විශේෂයෙන් ම රාජ්‍ය මාධ්‍යවල අනුර කුමාර දිසානායක වෙත ලබා දෙන ගුවන් අවකාශය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන්නේ නැත. ඒ බව අනුර සහභාගී වූ රාජ්‍ය මාධ්‍ය වැඩසටහන් පිළිබඳ සොයා බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත.

මින් පෙර ද, විශේෂයෙන් ම සරත් ෆොන්සේකා ජනාධිපති ධුරයට පත් කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන සමයේ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ක්‍රියා කළ ආකාරය සහ ඒ සම්බන්ධ ඡායාරූප එවකට මාධ්‍ය මගින් පල කොට තිබිණි. ඉන්පසු 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමෙන් අනතුරුව, අරලිය ගහ මන්දිරයේ දූෂණ විරෝධී කාර්යාලයේ ප්‍රධානියා වූයේ අනුර කුමාර දිසානායක ය. ඔහු විසින් ෆයිල් කියා ප්‍රදර්ශනය කෙරුවේ ද, එම කාර්යාලයට අයත් දූෂණ සම්බන්ධ ලිපි ගොනු බව බොහෝ දෙනා දන්නේ නැත.

‘විජය නිව්ස්පේපර්ස්’ යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමාගේ පත්තර කන්තෝරුවයි. රුවන් විජේවර්ධනගේ පියා එම විජය පුවත්පත් සමාගමේ එනම්’ ලංකාදීප පත්තර කන්තෝරුවේ අයිතිකරුවා ය; රංජිත් විජේවර්ධන යනු ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වන අතර, ඔහු සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ යනු රංජිත්ගේ ඥාති පුත්‍රයා වේ. වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන වන රුවන් විජේවර්ධන යනු රංජිත් විජේවර්ධනගේ පුත්‍රයා වේ.

අද අනුර කුමාර දිසානායකගේ ‘රට අනුරට’ ටැබ්ලොයිඩ් ප්‍රකාශනය මුද්‍රණය කරන්නේ එකී විජය නිව්ස්පේපර්ස් ආයතනය යි. තරගකාරී ජනාධිපති අපේක්ෂකයෙකුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක පත්‍රිකාව මුද්‍රණය කර දීමට තවත් තරගකාරී ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්‍රකාශන ආයතනයක් කටයුතු කරන්නේ කෙසේ දැයි ඔබට ප්‍රශ්නයක් නොනැගෙන්නේ අනුර කුමාර දිසානායකලා සතු ව්‍යාපාරික සවිය සහ රනිල් වික්‍රමසිංහ සමග ඔවුන්ගේ පවතින අන්‍යොන්‍ය අවබෝධය සහ සබැඳියාව ඔබ දැන් දන්නා නිසා ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *