අනුර සහෝදරයා ඔයා දැන් මේ රටේ ජනාධිපති. රටේ රාළ ලියයි..

අනුර සහෝදරයා ඔයා දැන් මේ රටේ ජනාධිපති. රටේ රාළ ලියයි..

ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක ජනාධිපති අනුර කුමාර සහෝදරයා ගිය 19 වෙනිදා තංගල්ලෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක රැලි මාලාව පටන්ගත්තා. ඒ එක්කම අනුර සහභාගීවෙන රැස්වීම් කීපයක්ම තිබුණා. රටේ රාළ අනුරගේ කතා A to Z අහනවා. රටේ රාළ තංගල්ල වේදිකාවේ සහ අනෙකුත් වේදිකාවල දැක්කේ ශ්‍රි ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක නෙවෙයි, තවමත් ජනාධිපති වෙන්න ට්‍රයි කරන සැප්තැම්බර් 21 වෙනිදට ඉස්සෙල්ලා හිටපු ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකයි.

අනුරගේ මහ මැතිවරණ වේදිකාවත් ජනාධිපතිවරණය වගේම බොරු බේගල් මණ්ඩපයක් වෙලා.අනුර කියන්නේ ජනාධිපතිවරණ සටනේදී එයාලගේ දේශපාලන හතුරෝ කිව්වේ අනුර ජනාධිපති උන ගමන් තෙල් පෝලිම්,ගෑස් පෝලිම් ඇති වෙලා රට කඩාගෙන වැටෙයි කියලාලු. ඔව් ඇත්තටම එයාලා එහෙම කිව්වා. අනුර කියන්නේ ඒක නිසා අනුර ඉස්සෙල්ලාම කළේ රටේ ආර්ථිකය ස්ථාවර කරපු එකලු.

ඇත්තටම ඔහොම කතා කියන්න හොඳ කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියලා ඉස්සර කතාවක් තිබුණා. දැන් ඔය වගේ කතා කියන්න ඕනි ගිරාපෝතක ජෙප්පන්ට. අනුරගේ ඒ කතාවට අපිට උත්තර දෙන්න දෙයක් ඇත්තෙම නෑ.අනුර ජනාධිපති වෙලා තියපු පළවෙනි හරි, දෙවෙනි හරි රූපවාහිනී සංවාදයකට ආපු මාලිමාවේ විධායක කමිටු සාමාජික චතුරංග අබේසිංහ අද අනුර කියන කතාවට එදා උත්තර දුන්නා. චතුරංග කිව්වේ හිටපු ජනාධිපති රනිල් කිසිම කඩාකප්පල් කාරී වැඩක් කරලා නෑ කියලයි.

තෙල් සංචිත,ගෑස් සංචිත තව මාස ගාණකට තියනවා.ඉදිරියට අවශ්‍ය ඇණවුම් කරලා තියනවා.ඒ සදහා අවශ්‍ය මුදල් සංචිත ඉතිරි කරලා තියනවා කියලා චතුරංග කිව්වා. චතුරංග ඒ සාකච්ඡාවේදී හිටපු ජනාධිපති රනිල්ට විශේෂ ස්තුතියකුත් කළා.එතකොට අනුරට ආය කරන්න දෙයක් රනිල් ඉතුරු කරලා ගිහින් තිබුණේ නෑ. අඩුම ගානේ ඒ ගෞරවය දෙන්නවත් අනුර නිහතමානී වුනේ නෑ. අනුර තුලින් තවමත් දිස්වන්නේ අර ජෙප්න්ගේ තියන දේශපාලන කුහකකමම තමයි.

ඊළඟට අනුර කිව්වේ අනුර ආපු ගමන් රුපියල් 15000 ට තිබුන පොහොර සහනාධාරය 25000 කළා.විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක් දුන්නා. ධීවර ප්‍රජාවට තෙල් සහනයකුත් දෙන්න කටයුතු කළා. ඇත්තටම මේවා රනිල්ගේ කැබිනට් එකෙන් සම්මත කරලා මුදල් වෙන් කරලා තිබුණේ. මැතිවරණ කාලපරිච්ඡේදයක් නිසා ඒවා ලබාදීම මැතිවරණ කොමිෂමෙන් වාරණය කරලා තිබුණා.

එතකොට ඔයාලා අහයි දැනුත් මැතිවරණ කාලයක්නේ ඇයි එහෙනම් ඒවා වාරණය නොකරන්නේ කියලා.වාරණය නොකරන්නේ මැතිවරණ කාලයකදී උනත් ඒවා දෙනවට මේ රටේ විපක්ෂ කණ්ඩායම් විරුද්ධ වුනේ නෑ. සමහර විපක්ෂ කණ්ඩායම් ඒවා අදාල ජනකොටස්වලට දෙන්න කියලා මැතිවරණ කොමිෂමට යෝජනා කරලත් තිබුණා. ඒවා ගැන කිය කියා තමයි අනුර මේ පාළු ගෙයි වළං බිදින්නේ. අනුරලා මේ පාර අයවැයක් ගේන්නේ නෑ.

අනුර කියන විදිහට ලබන අවුරුද්දේ පෙබරවාරි හරි මාර්තු හරි අයවැයක් ගේනවලු.ඒකෙනුත් රජයේ සේවකයන්ට පඩි වැඩිකරනවා කියලා ස්ථීරව කියන්නේ නෑ.තමන් කරන එකෙන් මොනවද කරන්නේ කියලා නොකියන අනුර රනිල් කරලා ගිය ටිකේ ලකුණු නං ඕසෙට දාගන්නවා. ඊළඟට අනුරලා මේ මැතිවරණ වේදිකාවත් හොරු අල්ලන වේදිකාවක් කරගන්න හදනවා.හොරු අල්ලනකොට කෙදිරි ගාන්න එපාලු.

අපි අනුරට කියන්නේ දැන් හොරු අල්ලන සියලු මෙවලම් තියෙන්නේ අනුර අතේ.ඒක නිසා දැන් ඔයාලා කෙදිරිගාන්නේ නැතිව හොරු අල්ලන්න. අනුර කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ජාත්‍යන්තර සංවිධානත් එක්ක නෙගෝසියේට් කරන්න ශක්තිමත් ජනවරමක් දෙන්න කියලයි. අනුර කියන ඒ කතාවේ ඇත්තක් නැත්තෙම නෑ. ජනවරමත් ඒවට වැදගත් තමයි.

හැබැයි ඊට වැඩිය වැදගත් වෙන්නේ නායකයාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය.රනිල් ඔය මොන ජනවරමක්වත් නැතිව එයාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සියල්ලගේ සාමුහික උත්සාසය මත ගෙනාපු ජයග්‍රහණ උඩ තමයි අනුරලා අදත් පීන පීන ඉන්නේ.රටේ රාළ කියන්නෙත් මේ ආණ්ඩුව කරගෙන යන්න ඕනි බලය ජනතාව දෙන්න ඕනි කියලයි.හැබැයි ඒක අත්තනෝමතික බලයක් නං නෙවෙයි.

අනුර ඊළඟට කිව්වා එයාලා ආපු ගමන් ව්‍යාපාරිකයන්ට විශ්වාසය හැදුවා කියලා.කොටස් වෙළඳපොල මත විශ්වාසය හැදුවා කියලා. සමහර ව්‍යාපාරිකයන්ට සහ එයාලගේ පෞද්ගලික හිතවතුන්ට විශ්වාසය හදපු බව ඇත්ත.එයාලට උදව් කරපු බිත්තර ව්‍යාපාරිකයන්ට සහල් ව්‍යාපාරිකයන්ට විශ්වාසය හදලා තියන බව පේනවා.සමහර අයට පස්ස තියාගෙන යන්න V8 දුන්න බිත්තර ව්‍යාපාරිකයෝ සියලු සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර ව්‍යාපාරිකයෝ වට්ටලා අද ඒ වෙළඳපොල අල්ලගෙන තියනවා.

රටේ රාළ කියන්නේ අනුර තවම ඉන්නේ ජනාධිපතිවරණ අපේක්ෂක මනෝභාවය ඇතුලේ. ජනාධිපතිධූරය බාරගත්තට පස්සේ තියෙන්න ඕනි පරිනතකම අනුර ඇතුලේ නෑ.ඇතුලේ නැතත් ඒක තියනවා කියලාවත් පෙන්නන්න අනුර දන්නේ නෑ.අනුර අර පරණ ඡන්ද රැස්වීම්වල දීපු පොරටෝක්ම තමයි තවම දෙන්නේ.රටක ජනාධිපති කෙනෙක් කතා කරන්න ඕනි ගැලරියට නෙවෙයි.

ජනාධිපති කෙනෙක්ගේ වගකීම සමස්ථය අතට ගැනීම මිසක ගැලරිය අතට ගන්න එක නෙවෙයි. අපේ රටේ ජනාධිපතිතුමා BRICS සමුළුව මගෑරලා ගැලරිය අතට ගත්තා කියන එකෙන් අනුරගේ දේශපාලන පෞරුෂය මැනෙනවා.අනුරලා රනිල්ට කිව්වේ ජාත්‍යන්තර සමුළුවවලට යනවා වැඩියි කියලා.ඇත්තටම ඒ කතාව අනුර බොක්කෙන් කියපු එකක් වෙන්න ඇති කියලා හිතෙන්නේ BRICS සමුළුව මඟැරියට පස්සෙයි.දැන්වත් අනුරලා ඔය ලිං මැඩි මානසිකත්වයෙන් එළියට එන්න ඕනි.

ඒකයි රටේ රාළ කියන්නේ අනුර තවමත් ජෙප්පන්ගේ ජනාධිපති විතරයි කියලා.රටේ රාළ අනුරගෙන් ඉල්ලන්නේ දැන්වත් ඔය ගෝත්‍රික මානසිකත්වයෙන් අයින් වෙලා අපේ රටේ ජනාධිපති වෙන්න කියලයි.දැන් මේ තුට්ටු දෙකේ කතා වේදිකාවේ නොකියා අනුර වෙන ස්ටෙප් එකකට යන්න ඕනි.අනුර දැන් කරන්න ඕනි රට ගොඩනැගීමේ වැඩේ මිසක් FCID එකේ වැඩේ නෙවෙයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *