“අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවේ” ඝාතනයට අනුබල දෙන පොලිස් ඇමැති ඉල්ලා අස්වන්නැයි නීතීඥ සංගමය කියයි

“අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවේ” ඝාතනයට අනුබල දෙන පොලිස් ඇමැති ඉල්ලා අස්වන්නැයි නීතීඥ සංගමය කියයි

‘අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර තිබේ.

“අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා”

ඔහු මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි.

‘අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා. මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදි කණ්ඩායමක් පිහිටවනවා.
අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කළා. මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි’ යනුවෙන් ටිරාන් අලස් වහසිබස් දොඩා තිබේ. නීතිය යනු කුමක්දැයි නොදන්නා මහජන ආරක්ෂක ඇමැතිවරයෙක් සිටීම රටේ ම අවාසනාවකි.

පොලිස් ඇමැතිගේ මේ ‘අභද්‍ර’ ප්‍රකාශය රටේ නීතිය ගැන සැළකිල්ලක් දක්වන ප්‍රධාන සංවිධානයක් වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබේ. විශේෂයෙන් ම අලුතින් සේවයට එක්වන පොලිස් නිලධාරීන් ඉදිරියේ තබාගෙන සිදු කරන ලද මෙම ප්‍රකාශය රටේ නීතිය හෑල්ලුවට ලක් කිරීමකි. නීතිය අතට ගැනීමට පොලිසියට අනුබල දීමකි. ටිරාන්ගේ ප්‍රකාශය හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනාවක් සම්මත කරගන්නේ ඒ අනුව ය. ටිරාන් ඉල්ලා අස්විය යුතු බව නීතිඥ සංගමයේ අදහස ය. අමාත්‍යවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්‍ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට නීතිඥ සංගම් යෝජනාවේ සඳහන් ව තිබේ.

අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමට නීතිඥ සංගමය සූදානම් වෙයි.

නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් මෙම ප්‍රකාශය සිදු කරන බවත්, පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවටත් නීතීඥ සංගමය චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *