අපි විශ්වාස කරන්නෙ සමාජවාදය පදනම් වූ ආර්ථිකයක්

අපි විශ්වාස කරන්නෙ සමාජවාදය පදනම් වූ ආර්ථිකයක්

තමන් විශ්වාස කරන්නේ සමාජවාදී මූලධර්ම මත පදනම් වූ සුවිශේෂී ශ්‍රී ලාංකේය ආර්ථික ආකෘතියක් ගැන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ඩේලි මිරර් සමග පවසන්නේ බිමල් රත්නායක විසින් මෙවැනි සමාජවාදී කතාවක් කියා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂය විසින් අත්හිටුවා කලක් ගත වීමෙන් පසු වීම විශේෂත්වයකි. ජාතික ජන බලවේගය වශයෙන් සමාජවාදය යන වචනය පැත්ත පළාතකටවත් වද්දා නොගන්නා තත්ත්වයක් තුළ නලින්දගේ මේ ප්‍රකාශය මහත් වියවුලක් මතු කොට තිබේ.

ජවිපෙ ඉහළ පෙළේ නායකයන් කීපදෙනෙක් ම මෙසේ අමුතු තාලේ මත සමාජගත කිරීම සම්බන්ධයෙන් කප් ගසා ඇත. තමන් බලයට පත් වූ විට රාජ්‍ය ව්‍යුහයම වෙනස් කරන බව ජවිපෙ නායකයා කියද්දී ලාල් කාන්ත තමන්ගේ ආණ්ඩුවට එන ‘ප්‍රතිවිප්ලවය’ දැඩි ව මර්දනය කරන බව කියයි.

මේ වන විට තමන් විසින්ම පත් කරගත් ගෝඨාභය තමන්ට ම ‘කෙළවා’ ඇති තත්ත්වයක් තුළ අධි සංවේදී ඡන්ද දායකයාට යන එන මං නැතිවීම මත සැලකිය යුතු ලෙස ජනාකර්ෂණයක් ජවිපෙට හිමි ව තිබේ.

ඔවුන්ට සාපේක්ෂව අනෙකුත් දේශපාලන පක්ෂ නිද්‍රාවට පත්ව ඇති තත්ත්වය මත මෙන්ම ‘මේ පාර ජවිපෙට දීලා බලනවා’ යන මානසිකත්වය ජන සමාජය තුල ඇති වෙමින් ඇති පසුබිමක ජවිපෙ ප්‍රධානීන් පෙර කී ආකාරයෙන් තමන්ගේ ආසාව තෘප්ත වීමෙන් කෙලවර වේ යැයි වන මානසික භීතියකට පත්ව තිබෙනු දැකිය හැකිය.

නලින්ද කියන්නේ ‘සමාජවාදී’ ක්‍රමය කියා නිශ්චිත එකක් ද නැති බව ය. ජවිපෙට කොහොමත් කවදාවත් නිශ්චිත එකක් තිබුණේ නැත. ඔවුන් හැමදාම කළේ ‘එන එන හැටියට ගහ උලුවස්සා’ ක්‍රමය ක්‍රියාත්මක කරමින් එදා වේල ටුවර් එකක් දිවීම ය. නිශ්චිත අනාගතයක් බලාපොරොත්තු වන මනුස්සයෙකුට ජවිපෙ විශ්වාස කරනු බැරි ය. ඒත් අධි සංවේදී ‘තාප්ප චිත්‍ර’ පන්නයේ ඡන්ද දායකයන් නම් කෙටි කාලීනව රැවටිය හැකි ය.

සමාජවාදී පක්ෂයක් මූලික මූලධර්මවලට පටහැනිව විකාශනය වන තත්වයන් යටතේ එහි උපාය මාර්ගවල වෙනස්කම් වලට භාජනය වීම ස්වාභාවික බව නලින්ද කියයි. සමාජවාදී පක්ෂයක් රජයක් ගෙන යන ආකාරය දැක්වෙන නිශ්චිත ආකෘති ලෝකයේ කොතැනකවත් සොයාගත නොහැක. එය ඕනෑම රටක සංවර්ධන මට්ටම, මහජන සංජානනය සහ ගෝලීය තත්වයන් මත රඳා පවතින බව ද ඔහු කියන්නේ ජාතික ජන බලවේගය වටා එක්වන මධ්‍යම පාන්තික ජනතාව රඳවා තබා ගැනීමට පමණක් බව පැහැදිලි ය.

එහෙම කියන නලින්ද, සමාජවාදී කඳවුර ලෝකයේ කඩා වැටුණ බවත්, චීනය සහ වියට්නාමය හැර ලෝකයේ සමාජවාදී ආණ්ඩු තිබෙන අනෙකුත් රටවල් හොඳ ස්ථාවරයක නැති බවත් කියයි. තමන් විශ්වාස කරන්නේ සමාජවාදී මූලධර්ම මත පදනම් වූ සුවිශේෂී ශ්‍රී ලාංකේය ආර්ථික ආකෘතියක් ගැන, එනම් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සහ එහි සාධාරණ බෙදා හැරීම සහතික කිරීම බවත් තවදුරටත් කියයි. මේ නොකියා කියන්නේ ආණ්ඩුව විසින් මැදිහත් වන මධ්‍ය සැළසුම් ක්‍රමයකට රට ගෙන යාමට නලින්දලා සූදානම් වන බව නොවේ ද? ජාතික ජන බලවේගය නම් වූ අයිසින් එක උඩින් තවරා මේ දෙන්න හදන්නේ පරණ පුස් කේක් සමාජවාදයම නොවේ ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *