අලස ඩලස් ගේ වලස් දඩයම !
ඩලස් අලහප්පෙරුම පසුගිය 2020 මහ මැතිවරණය වනතුරු සිටියේ රාජපක්ෂලාට සමීපව ය. නමුත් පැණි වරකෙට හෙන ගැහුවේ වැඩකට නැති කුඩා කොලුවෙකු නිසාය.
ඒ මාතරින් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණි නිපුණ රණවක ය. තම පවුලේ වීම නිසා රාජපක්ෂලා ඩලස් කපා නිපුණ ඉහලින්ම දිනවීම මත ඩලස් – මහින්ද අයියා මල්ලි වැනි සම්බන්ධතාව පළුදු විය. හිතවත්කම්වලට වඩා ලේ නෑකම් ඝණය.
ගෝඨාභයගේ පැන යාමට පෙර සිටම පොහොට්ටුවෙන් ස්වාධීන වී සිටි ඩලස් සමඟ තව කණ්ඩායමක්ම සිටියේය, එය ගණනින් 14 කි. ඔවුන් එක්ව ඩලස්ගේ නායකත්වයෙන් නිදහස ජාතික සභාව පිහිටුවා ගති.
පාර්ලිමේන්තු ජනාධිපතිවරණය තුළ බිලී බෝයි වූයේ ද මේ ඩලස්මය. ආසයි බයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක පැත්තක සිටිය දී රනිල් වික්‍රමසිංහ සමඟ පරදින සටනට ඩලස් ඉදිරිපත්වූයේ ජනාධිපති ලණුව කාලා ය.
එතෙකින් ඔහුගේ සජබ දීගය අහවර වූ අතර, නොපැවැත් වූ පලාත් පාලන මැතිවරණය තුළ ඩලස් හෙලිකොප්ටරයට ගොඩ විය. නමුත් හෙලිකොප්ටරය උඩ යන්නට පෙර ම බිඳ වැටුනේ ඩලස් නිසා බව කරලියට නොපැමිණි කාරණයකි.
හෙලිකොප්ටරයට එකතු වන්නට සිටි ශ්‍රිලනිපය, චම්පික ඇතුලු පාර්ශවවල ඉල්ලීම වූයේ විමල් වීරවංශගේ උත්තර ලංකා කණ්ඩායම නැතිව සන්ධානය බිහිකරමු යන්නය. නිදහස සභාව නියෝජනය කල මන්ත්‍රීවරුන් සියලුම දෙනා පාහේ එයට එකඟ වුවත් නායකයා ලෙස ඩලස් එයට විරුද්ධ විය.
ඊට හේතුව වූයේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා උත්තර ලංකා කණ්ඩායම තුළ සිටීමයි. මාතර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව හරහා පාර්ලිමේන්තුව ට පැමිණි වීරසුමන මන්ත්‍රීවරයා හට පක්ෂයට සහ කුලයට හිතවත් යම් නිශ්චිත ඡන්ද සංඛ්‍යාවක් වන අතර, ඒවායින් එක් මනාපයක් තමන්ට හිමි කර ගැනීමට නම් ඔහුව හිත හොඳින් තබා ගැනීම ඩලස්ගේ අභිප්‍රාය විය. නමුත් සිද්ධ වූයේ හෙලිකොප්ටර සන්ධානය ඩලස්ගේ අනාගත පාර්ලිමේන්තු සිහිනය නිසා බිඳ වැටී යාමයි. නමුත් ඩලස් තවමත් වීරසුමන වීරසිංහ අත්හැර නැත. ඒ අර ඡන්ද කුට්ටියට ඇති ඇල්ම බැල්මය.
ඒ ගිය අවුරුද්දේ මුලය.
අවුරුද්ද අග වන විට අලස මෙන්ම නිතර අසනීප වන ඩලස් ගේ නිදහස සභාව ද බිඳ වැටින. GL පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා සජබට ගිය අතර, සෙසු මන්ත්‍රීවරුන්ද පාලනය කල නොහැකි තැනකට ඩලස් පත්විය.
2024 පටන් ගත්තේ ඩලස්ගේ මාතර, ජවිපෙ විසින් කළඹවමිනි. කැලඹී ඇත්තේ මාතර පමණක් නොව ඩලස් ද, ඒ රට පුරා ඉන්න ජවිපෙට හිතවත් බස් පුරවා පැමිණි කාන්තාවන් දැක අන්ද මන්ද විය.
කෙලෙස හෝ ඉදිරි මහ මැතිවරණය තුල මාතරින් පාර්ලිමේන්තුවට ඒමට මාන බලන් සිටින ඩලස්ට දැන් දැන් පෙනෙන්නේ ජවිපෙය. දෙල්කඳ බෝඩිමේ විමල් සමඟ ලැග සිටින කාලය සිහියට ගෙන දැන් ඩලස් බලන්නේ ජවිපෙට ගොඩ වීමටය.
ඒ සඳහා තමන් සමඟ සිටින අනෙකුත් මන්ත්රීවරුන්ව ද, පොලඹවන ඔහු මුලින් කරන්නට යන අලුත්ම සෙල්ලම වන්නේ කොමියුනිස්ට් පක්ෂය වටා දැනට පාර්ලිමේන්තුව තුල ස්වාධීනව සිටින තවත් මන්ත්‍රීවරු පිරිසක් එකතු කර සන්ධානයක් ඇති කිරීමය. වාම ජාතිකවාදය නැමති බෝඩ් එක එය ඉදිරියේ සිටවන්නට තීරණය කර ඇති අතර, ඒ ජවිපෙ සමඟ සන්ධානයකට පාර කපා ගැනීමේ යටි වුවමනාව ද සහිතවය.
මේ ආකාරයට සිතන පතන ක්‍රියාත්මක වන ඩලස් ව ජවිපෙ කෙලෙස පිලි ගනීවි ද? යන්න විමසිලිමත්ව බලා සිටිය යුතු කරුණකි.