ඇල්පිටියේ ඡන්දයෙන් කියවෙන සජිත්ගේ මහා මැතිවරණ පරාජය..!

ඇල්පිටියේ ඡන්දයෙන් කියවෙන සජිත්ගේ මහා මැතිවරණ පරාජය..!

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පාලක ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අයත් වන්නේ බෙන්තර-ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයට ය. ජනාධිපතිවරණය අවසන් ව පාර්ලිමේන්තු මහා මැතිවරණය මුව විට තබා ගෙන අතුරු මැතිවරණයක් ලෙස පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සැලකිය හැක්කේ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ පූර්ව දැක්මක් ලෙස නිසැකවම සැලකිය හැකි ය. 2024 ජනාධිපතිවරණයෙන් ඉක්බිති පැවැත්වෙන පළමු මැතිවරණයෙන් බෙන්තර – ඇල්පිටිය ආසනයේ ඡන්දදායකයාගේ හැසිරීමේ වෙනස්වීම මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය අපට හොඳින් දැක බලා ගත හැකි ය.

ජනාධිපතිවරණයේ දී බෙන්තර – ඇල්පිටිය ආසනයේ ප්‍රතිඵලය පහත දැක්වේ.

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය) 35,612 (49.37%)
සජිත් ප්‍රේමදාස (සමගි ජන බලවේගය) 19,733 (27.35%)
රනිල් වික්‍රමසිංහ (ස්වාධීන/නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) 11,595 (16.07%)
නාමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) 2,571 (3.56%)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය මෙසේ ය.

ජාතික ජන බලවේගය 17,295 (47.64%)
සමගි ජන බලවේගය 7,924 (21.83%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,597 (9.91%)

මෙම ප්‍රතිඵලයන් සන්සන්දනය කිරීමේ දී වඩාත් කැපී පෙනෙන තත්ත්වය වූයේ සමගි ජන බලවේගයේ පසුබෑමයි. එය 27.35% සිට 21.83% දක්වා 6% කට ආසන්න ප්‍රමාණයකින් පැහැදිලිව අවගමනය වී තිබේ. සමගි ජන බලවේගය ඉදිරි මහා මැතිවරණයේ දී ලබා ගන්නා ආසන ප්‍රමාණය පිළිබඳ පැහැදිලි තක්සේරුවක් මේ හරහා ලබා ගත හැකි ය. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ජන පදනම සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය මත මෙසේ දැඩි බලපෑමකට ලක් ව තිබෙන බව පෙනේ. ජනාධිපතිවරණයෙන් අනතුරුව මහා මැතිවරණය දක්වා ගත කරන කෙටි කාල සීමාව තුළ සමගි ජන බලවේගය සමග එක්ව සිටි පාර්ශව රැසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ සහ ඔහුගේ පවුල් සමාගමේ දැඩි අර්බුදකාරී ප්‍රතිපත්ති හේතුවෙන් සමගි ජන බලවේගයෙන් ඈත්ව ගිය අතර, තලතා අතුකෝරාල, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් ජනාධිපතිවරණයට පෙර එසේ ඉවත් ව ගිය අතර, පක්ෂය තුළ සිටි අජිත් මාන්නප්පෙරුම සජිත් ප්‍රේමදාසව දැඩි ලෙස විවේචනය කරමින් මහා මැතිවරණ ව්‍යාපාරයෙන් ප්‍රසිද්ධියේ ඉවත්ව ගියේ ය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පක්ෂයේ කාන්තා බලවේගයේ තනතුරුවලින් ඉල්ලා අස් වූ අතර, දමිතා අබේරත්න සජබයෙන් ඉවත් වූයේ සජිත් ප්‍රේමදාසගේ නොහැකියාව තව තවත් කියාපාමිනි. ඊට අමතරව, සජිත් ප්‍රේමදාසගේ මහන්තත්ත්වය නිසා චම්පික රණවකගේ පක්ෂය ද, සමගි ජන බලවේගය සමග පැවති සියලු සම්බන්ධතාවලින් ඉවත් විය.

ඉතා පැහැදිලිවම සජිත් ප්‍රේමදාසගේ මහා මැතිවරණ ව්‍යාපාරය ද දියාරු ස්වරූපයක් ගෙන ඇති අතර, පක්ෂයේ ප්‍රබලයෙකු වූ හර්ෂ ද සිල්වා පවා තමන්ට සිදුවන කෙනෙහිලිකම් ගැන කනිපින්දම් කියමින් සිටියි. සජිත්ගේ මහා මැතිවරණ ව්‍යාපාරය තුළ බලය ඉල්ලා සිටින්නේ ද, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ අගමැතිකම කරන්නට ය. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ දී තමන් සමග සිටින්නේ ‘හොඳම කණ්ඩායම’ ලෙස සජිත්ට කියන්නට සිදු වූයේ ජනාධිපතිවරණයේ දී තම පෞර්ෂය ජනපති අසුනට නුසුදුසු බව සහ තමන් ඊට නොගැලපෙන බව කියාපාමිනි. මහා මැතිවරණ ව්‍යාපාරයේ ද, සජිත් කියන්නේ තමන් සමග සිටින්නේ හොඳම කණ්ඩායම කියා ය. හොඳම කණ්ඩායම ලෙස පෙන්වූ අයගෙන් චම්පික අද සජිත්ගෙන් ඉවත් වී තිබේ. ඩලස් අලහප්පෙරුමට ජාතික ලැයිස්තු අසුනක් වෙන් කර ඇති නමුත්, සමගි ජන බලවේගයට මීළඟ මහා මැතිවරණයේ දී හිමි වන ප්‍රතිඵලය අනුව ජාතික ලැයිස්තු ආසන 04 හෝ 05 කට වඩා හිමි වන්නේ නැති බව පැහැදිලි ය. දෙමළ මුස්ලිම් පක්ෂ නියෝජනයට අවම වශයෙන් ජාතික ලැයිස්තුවෙන් ආසන 2 ක් වත් වෙන් කරන්නට සිදු වන අතර, සමගියේ සභාපති වන ඉම්ටියාස් බාකීර් මාකර්ට සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට තවත් ආසන 2 ක් නිසැකයෙන් ම හිමි වන තත්ත්වයක් තුළ ඩලස් අලහප්පෙරුමට ද, ජාතික ලැයිස්තු ආසනයක් ලැබේ යැයි විශ්වාස කළ නොහැකි ය. එම කණ්ඩායමේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේට ද ජාතික ලැයිස්තුව සිහිනයක් වී තිබෙන අතර, පිටතින් පැමිණි ජී.එල්. පීරිස් ඉල්ලන්නේ ද, ජාතික ලැයිස්තු අසුනකි. ආචාර්‍ය නාලක ගොඩහේවා ආගිය අතක් නැත. ඒ අස්සේ දිලිත් ජයවීර ද, විපක්ෂයේ නායකත්වය ඉල්ලමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් සිදු කරමින් සිටී. මෙවන් තත්ත්වයක් තුළ සජිත් ප්‍රේමදාසට ශ්‍රී ලංකා දේශපාලනයේ දක්ෂිණාංශයට නායකත්වය දිය නොහැකි බව පෙනෙන්නේ රනිල් සමග එකට කටයුතු කළ පිරිසට ද, මහා මැතිවරණයේ දී පැහැදිලි බලයක් හිමි වන බව පෙනෙන්නට තිබෙන බැවිනි. කෙසේවෙතත්, රනිල්ගේ පිලට ද, නායකත්වයක් නැත. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායකගේ වාමාංශික ජාතික ජන බලවේගයට මුහුණ දීමට තරම් ශක්තිමත් පෞර්ෂයක් නොමැති පුද්ගලයෙකු බව ද පෙනී ගොස් තිබේ. දැන් රටට අවශ්‍ය ශක්තිමත් දක්ෂිණාංශයකි. එහි නායකත්වයට ද ඇත්තේ හිඩැසකි. සජිත් ප්‍රේමදාස ඊට නුසුදුස්සෙක් බව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල කියා පායි. පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ප්‍රතිඵල තුළින් ඒ බව වඩාත් පැහැදිලි ව ඔප්පු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *