ඒ වේදිකාවෙන් බැස ගියේ ඔබේ ආදරණීය නායක … විජේඒඒඒ වීර

ඒ වේදිකාවෙන් බැස ගියේ ඔබේ ආදරණීය නායක … විජේඒඒඒ වීර

පසුගිය මාර්තුවේ සිට පැවති වාදය ජයගෙන තිබුනේ NPP ය යි.  පරාජිතයන් වී තිබුණේ ජවිපෙ නොව ජවිපෙ අභ්‍යන්තර බොල්ෂෙවික් පක්ෂයයි. වාදය පැවතියේ මැයි රැලිය අරඹයාය. යෝජනාව ඇවිත් තිබුනේ NPP එක පැත්තෙනි.

“කරුණාකරලා වෙනදා වගේ මැයි සැරසිලිවලට ඔය වෙනදා කරනවා වගේ මාක්ස්, ලෙනින්, විජේවීරලාව යොදාගන්න එපා”

NPP ය අනුරට කියා තිබිණ.  විශාල මුදලකට MARKETTING CAMPAIGN එක බාරදී තිබූ ….. සමාගමෙන් ද, ඒ බව පෙර තියාම කියා තිබීම NPP මතය තහවුරු කළේය.

දැන් අනුර උභතෝකෝටිකයක හිර විය, එහෙත් මෙය නොකරම බැරි ය. තම පක්ෂයේ අතීතය රටට අමතක නොකර මේ ගමන යා නොහැක. මාක්ස්,  එංගල්ස් හලා දැමීම ඉවසිය හැක, එහෙත් විජේවීර..?

අභ්‍යන්තර පක්ෂය කෙලෙසකවත් එය නොඉවසනු ඇත.  එහෙත් මේ පෙනි පෙනී තිබෙන බලය ඉදිරියේ මේවා නොකර බැරි දේවල්ය. බලය ලැබුණාට පස්සේ විජේවීර වෙනුවෙන් ප්‍රතිමා ඉදිකර ඒ නමින් ඉස්කෝල, මං මාවත් නම් කළ හැක. එහෙත් ඊට පෙර බලය ලබාගත යුතුය. මේ යෝජනාව අභ්‍යන්තර පක්ෂයට ඉදිරිපත් කර ජය ගත යුතුය.
මේක කරන්න බැරි වැඩක් නොවේ. බොල්ෂෙවික් පක්ෂය දැන් ඉස්සර වගේ බලගතු නැත. බිමල් වුනත් මුලින් සද්දේ දැම්මාට දැන් එහෙම නැත.

කළින් සිදු කළ ඉන්දියානු සංචාරය සම්බන්ධව ද මෙවැනි තත්ත්වයක් පැන නැගුන නමුත් එය ද අනුරට පක්ෂ ලෙස අහවර කර ගැනීම ට හැකිවිය. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දේශපාලන පන්ති කරමින් ඊට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් මෙහෙයවමින් ඒ නිසාම දහස් ගණන් පාක්ෂිකයන්ගේ ජීවිත අහිමි වී ගොස් තිබුන ද, අනාගතයේ ඔවුන් සැමරීමට පවා බලය අවශ්‍ය බැවින් ඉන්දියානු සංචාරය අත්‍යවශ්‍ය එකක් බව සනාථ කර ගැනීමට එදා අනුරට හැකි විය. දැන් තවත් එකක් ය.
ඉස්සර හිටපු ඕපාත මහත්තයලා,  ගුණ්ඩලා..වගේ උන්නා නම් මේ කෙරුම් අහවර ය.

අනුර යෝජනාව අභ්‍යන්තර පක්ෂයට දැම්මා පමණක් නොව එය සාර්ථකව ජය ගත්තේය.  බඹරේ වැල්ලේ උනත් කැරකෙන කොට ඔහොම තමයි ය.

මාක්ස්, ලෙනින් නොව මුට්ටිය කර ගා පක්ෂය හැදූ විජේවීර පවා හැලී ගියේය. ඉතිහාසය පුනරාවර්තනය වෙයි කියලා කිව්වේ එංගල්ස් ය. විජේවීර ද අසූ ගණන් වන විට සනත් හෙවත් විජේසේන විදානගේ කව්ද කියා නොදන්න මට්ටමට පත්විය. ටිල්වින් 2008 සිදුවීමෙන් පසු ඇසුවේ කව්ද කුමාර් කියන්නේ කියා ය. එහෙව් තැනක අනාගතේ ටිල්වින් අනුර පවා හැලී යනු ඇත.

එදාට අනුරට හිත හදා ගත හැක්කේ  “අප මිනිසුන් තැනිය යුත්තේ අපේ පසු පසින් පැමිණීමට නොව, අප පසු කර යාමටය” කියා විජේවීර කියූ කියමන මතකයට නගා ගැනීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *