කඩා කඩා කෑලි කඩා  –  දිනනු ඇතැයි සිතනු එපා

කඩා කඩා කෑලි කඩා  –  දිනනු ඇතැයි සිතනු එපා

බෙදා පාලනය කිරීම මරු යැයි ලංකාවට කියලා දුන්නේ සුද්දන්ය.  උන් ලංකාවෙන් නොව උන් යටත් කරගෙන සිටි ඕනෑම රටකින් පිටව ගියේ ඒවා කෑලි වලට බෙදාය.  ඒ බෙදිල්ල කොතෙක්ද යත් තාමත් ඒවාට එකට එකතු වෙන්න බැරි වී ඇත. මහා ඉන්දියාව කෑලි කෑලි වලට කැඩී යාම හොඳම උදාහරණය ය.

මේ ඉතිහාස දේශපාලන කථාව රනිල් තරම් හොඳට ක්‍රියාත්මක කරන තවත් දේශපාලන නායකයකු නැති තරම්ය.  බෙදිල්ල ලෙසටම කිරීමට රනිල් දක්ෂය. නෑ නෑ කලබල වෙන්න එපා , මේ බඩු බෙදිල්ල ගැන නෙමේය, ඒකට නම් දක්ෂ සජිත් බව කවුරුත් දන්නා කරුණකි.

රනිල් බෙදන්නේ දේශපාලන පක්ෂ හෝ සංවිධානය.  කොටින්ම පොර LTTE එකත් බෙදුවේය.  තමන්ගේම පක්ෂය වුනු UNP ය පවා කෑලි දෙකකට බෙදුවේය.
රනිල්ගේ පරණ බෙදීම් අමතක කලත් අලුත්ම බෙදීම් ගැන අවධානය දෙන්නට වටී.

රනිල් ශ්‍රිලනිප ය කැලි තුනකට බෙදා ඇත. ඉන් වැඩි කොටස රනිල්ට සපෝට් වාගේය. රනිල් පොහොට්ටුව බෙදා ඇත , එහි ද කොටසක් ඔහුට සපෝට්ය. රනිල් සජබ බෙදා ඇත. එලිපිට කීප දෙනෙකුත් හොරෙන් කීප දෙනෙකුත් රනිල්ට සහය දෙති.

දැන් මේ ඔක්කොම බෙදා රනිල් හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අරගෙන ඡන්දෙට ඇවිත් දිනන්නය.

ඒත් උපන්ගෙයි දෝශයක් රනිල් රැගෙන යමින් සිටියී. ඒක නිකන් ගොනු බැඳි රිය සක වගේය.  ඒ රනිල්ව සිංහල බෞද්ධ ජන සමාජය තුල කොහොමටවත් මාකට් කරන්න ට බැරි වීමය. එක සුබ ආරංචියක් නොව පත්තරයක් පුරා ලිව්වත් අපේ රටේ ගමේ මිනිහාට රනිල් රනිල්මය.  පෝලිම් නැති කලා හෝ කරන්ට් කැපිල්ල නතර කලා හෝ කියා ඒ පරණ රනිල් ගමේ මිනිහාට අලුත් වෙන්නේ නැත.

මේ දෝශය නිසාම සිංහල බෞද්ධ දේශපාලන නායකයන් වන ශ්‍රිලනිප සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ගම් රට වලට ගිහින් රනිල්ට ඡන්දය දෙන්නට කියා කියන්නට විදියක් නැත. කිව්වත් ජන්දය දෙන්න ඒ ගමේ මිනිහාගේ හිත හැදෙන්නේ නැත. මන්ත්‍රීවරයාට වෙන්නේ ඒක කරන්නට ගොස් තමන්ගේ හිතවත් ආධාරකාරයාද නැති කර ගන්නටය.
උදාහරණයක් විදියට මහනුවර පොහොට්ටුව නායකයන් වන මහින්දානන්ද, ලොහාන්,දිලුම් තුන්දෙනාම ඉන්නේ රනිල්ගේ සාක්කුවේය. ඒත් ඒ තුන්දෙනාම ඉහත ගැටලුවට මුහුණ දී සිටීයි .

කොච්චර රට බංකොලොත්භාවයට පත් කලා කිව්වද මහින්ද  එනවා නම් ඔහුට ඡන්දය දෙන්න කියා මේ නායකයන්ට ගමට ගිහින් කියන්නට පුලුවන් වුනාට රනිල් ගැන එහෙම කටක් ඇරලා කියන්නට බැරිය.
තත්වය තවත් භයානක වෙන්නේ මහින්ද රාජපක්ෂ චීනයේ ඉඳන් ලංකාවට ඇවිත් රනිල්ට අපේ සහය නෑ කියලා ප්‍රසිද්ධියේ කිව්වොත්ය. 

ඒ කියන්නේ මොන තරම් බෙදලා කෑලි කඩලා ඒ කෑලි එකතු කරගෙන ගියත් රනිල්ට වැඩක් වෙන්නේ නැත. 1999, 2004, 2005, 2020 ලද උරුමය නැවත වරක් අත් කර ගන්නවාද බලයේ පැවැත්ම සඳහා වෙනත් උපායකට ගියර් මාරු කරනවාද කියා රනිල් කල්පනා කර බැලිය යුතුව ඇත. මන්ද යත් කෑලි වල එකතුවට වඩා සමස්ථ ය විශාල නිසාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *