ගම්මන්පිල සිදුකළ කුමන්ත්‍රණ එළියට – පක්ෂයේ ලේකම්වරු සියල්ල හෙළිකරයි

ගම්මන්පිල සිදුකළ කුමන්ත්‍රණ එළියට – පක්ෂයේ ලේකම්වරු සියල්ල හෙළිකරයි

“රාජපක්ෂලා බලයට ගෙනහල්ලා බලශක්ති අමාත්‍ය ධූරය භාරගෙන රටේ ජීවනාලිය බඳු ඉන්ධන සැපයුම අඩපණ කරල පෝලිං හදලා විදුලි බලාගාර වහලා දිනකට පැය 13 ක් 14 ක් විදුලිය කපන තැනට රට තල්ලු කලේ උදය ගම්මන්පිල තමයි. අන්තිමට පිරිපහදුවත් වහලා දැම්මා. අවුරුදු 50 – 60 දුවන තෙල් පිරිපහදුව වහලා දාන්න ගෙනාපු තර්ක මීට කලින් කිසිදාක ඇති වෙලා තිබුනෙ නෑ. මේවා තමයි කුමන්ත්‍රණ. සැබෑ කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා රටට හෙළි වෙන්නේ අන්තිමට. එතකොට රටට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.”

මෙලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් සිදුකර ඇති කුමන්ත්‍රණ ගණනාවක් හෙළි කිරීම සඳහා පසුගිය 16 වනදා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර විසින් මහජන පුස්තකාල හා ප්‍රලේඛන සේවා ආයතනයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

එහිදී පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර විසින් හෙළිකළ කරුණු මෙසේයි..

“අපි අද මාධ්‍යය කැඳවා මේ විදිහට රට දැනුවත් කිරීමට කටයුතු කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායකත්වය රටේ අර්බුද නිර්මාණය කරමින් රට අවුලෙන් අවුලට පත් කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි නිසයි.

2019 ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දෙන තැනට රැගෙන යන්නට කටයුතු කළ ඉදිරිපෙළ නායකයෙක් ලෙස උදය ගම්මන්පිල මහතාට මේ ප්‍රශ්න වලින් ගැලවිලා යන්න බෑ.

සුළං රැලි හැදුවේ රාජපක්ෂලා නෙවෙයි. උදය ගම්මන්පිල මහත්තයලා. පරාද වෙලා ගෙදර ගිය මහින්ද මහත්තයව අගමැති කරනවා කියලා රට පුරා ගියේ කවුද?

ඒ මිනිස්සු බලයට ගෙනහල්ලා බලශක්ති අමාත්‍ය ධූරය භාරගෙන රටේ ජීවනාලිය බඳු ඉන්ධන සැපයුම අඩපණ කරල පෝලිං හදලා විදුලි බලාගාර වහලා දිනකට පැය 13 ක් 14 ක් විදුලිය කපන තැනට රට තල්ලු කලේ පිවිතුරු නායකයො තමයි.

අන්තිමට පිරිපහදුවත් වහලා දැම්මා. අවුරුදු පනහක් හැටක් දුවන තෙල් පිරිපහදුව වහලා දාන්න ගෙනාපු තර්ක මීට කලින් කිසිදාක ඇති වෙලා තිබුනෙ නෑ. මේවා තමයි කුමන්ත්‍රණ. සැබෑ කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා රටට හෙළි වෙන්නේ වෙන්නේ අන්තිමට. එතකොට රටට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

අපිට යන්න වෙන රටවල් නෑ එතුමාලට වගේ. අපි මේ රටේ ඉන්න ඕනේ. අපිට තියෙන එකම රට රැක ගැනීම අපේ වගකීමක්.

ඒ විතරක් නෙවෙයි 2009 ත්‍රස්තවාදයේ නිමාවත් සමග උතුරු නැගෙනහිර අර්බුද කෙමෙන් කෙමෙන් නිමාවට පත් වෙමින් තිබෙන හැටි අපි දැක්කා.දැන් නැවතත් උදය ගම්මන්පිල මහතාට උතුරේ පන්සල් පේන්න අරන්.

ලඟදි එතුමා උතුරේ කුරුන්දි විහාරයට ගියා. ඒ ගිය හැටි අපි රටට හෙළි කරනව ලඟදිම. සුමන්තිරන්ලා එක්ක සාකච්ඡා කරලා එකඟතාවයක් හදාගෙනයි කුරුන්දි පුදබිමට ගියේ. හැබැයි ඊට පස්සේ කුරුන්දියේ විශාල ගැටළුකාරි තත්ත්වයක් ඇති වුණා. කෝ එතකොට උදය ගම්මන්පිල මහත්තයා. ඔහු හැංගිලා. හැබෑ ප්‍රශ්නයක් ආවහම තමයි එතුමාට මතක් වෙන්නේ, එතුමා ඇප පිට ඉන්නේ කියලා.

තවත් වැදගත්ම කාරණයක් තමයි කියන්ඩ ඕනෙ 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය. උදය ගම්මන්පිල මහත්තයා බලශක්ති ඇමති වනතුරු හිටපු කිසිම බලශක්තිය අමාත්‍යවරයෙක් හෝ අඩු තරමින් වත්මන් ජනාධිපතිතුමාවත් අස්සන් නොකළ ආකාරයේ ගිවිසුමකින් ටැංකි වලින් 49% වසර පනහකට ඉන්දියාවට ලියා දෙන්න මෙතුමා කටයුතු කළා.

ඉන්දියාවට දොස් කියලා වැඩක් නෑ බොරු දේශප්‍රේමී සළු පිළි ඇඳගත්ත මෙවැනි පුද්ගලයින්ගෙන් තමයි රට ආරක්ෂා විය යුත්තේ.

අපි අවධාරණයෙන් කියනවා මේ රටේ ඊළඟට රාජ්‍ය පාලනය බාරගන්න ඉන්න ඕනෑම දේශපාලන නායකයෙක් හෝ පක්ෂයකට මෙවැනි අයගෙන් ආරක්ෂා වෙන්න. එහෙම නොවුණොත් අනාගතයේ හැදෙන ආණ්ඩුව පමණක් නොවේ හෙට උපදින්න ඉන්න දරුවන්ට පවා වන්දි ගෙවන්න සිදුවන රටක් බිහි වේවි.

ඒ අනතුර පෙන්වා දීම අපගේ වගකීමක්. ඒ වගකීම තමයි අපි මේ ඉටු කරමින් ඉන්නේ. මේ රටේ මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා අපේ හඬටත් යම් ඉඩක් ඔබගේ මාධ්‍ය තුළ ලබා දෙන්න කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *