චන්ද්‍රිකා මීළඟට ගේන්න යන තුරුම්පුව මොකක්ද..?

චන්ද්‍රිකා මීළඟට ගේන්න යන තුරුම්පුව මොකක්ද..?

දැනට පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකගේ දේශපාලන තිඹිරි ගෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
ඔය පොදු ජන පෙරමුණ, නිදහස සභාව , වෙල්ගම කණ්ඩායම වගේ ඔය ගොඩක් ඒවා ශ්‍රිලනිපය හරහා බිහි වුන පක්ෂ හෝ කණ්ඩායම්.

කොයි කොයි තැන හිටියත් මේ ශ්‍රිලනිපය නියෝජනය කළ/ කරන බොහොමයක් දෙනා සමඟ ඍජු මෙන්ම වක්‍ර සම්බන්ධතා හොරගොල්ල වලව්වත් එක්ක නැත්තේ නෑ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කථා කලාම මේ කවුරුත් මැඩම් කියලා ඒ කියුම් බහට කන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා.

ඉතින් චන්ද්‍රිකා මේ දවස්වල ඔය කාට කාටත් කථා කරනවලු. ඒ ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් පොදු සන්ධානයක් බිහි කර ගන්න. දැනට ශ්‍රිලනිපය සම්බන්ධ ඉතිහාසයක් තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම පාර්ශව ගණනාවක් එක්ක මේ විදියට සාකච්ඡා පවත්වලා තියෙනවා වගේම ඊට පරිබාහිරව චම්පික රණවක ඇතුලු එක්සත් ජනරජ පෙරමුණ වගේ තව තව පාර්ශව සමගත් කථා බහ තිබිලා තියෙනවා. මූලික සාකච්ඡා වලදි හැමෝම එකඟ වෙලා තියෙන්නේ නායකත්ව මණ්ඩලයක් වගේ එකක් හරහා මේ සන්ධානය පවත්වාගෙන යන්නලු.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛව නැග එන වාමාංශික දේශපාලන රැල්ලට මුහුණ දෙන්න පුලුවන් ප්‍රබල ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දකුණට අවශ්‍ය බවයි චන්ද්‍රිකා මහත්මිය එම සාකච්ඡා වලදි පෙන්වා දී ඇත්තේ. රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස ඒ නායකත්ව ලක්ෂණ නොපෙන්වන බව ඇය පසුගිය දින වල කොලඹ නිදහස් මාවතේ ඇගේ නිවසේදී මුණ ගැහුණ රටේ ප්‍රකට සහ විශාල සමාගම් රැසක හිමිකාරිත්වය දරන ව්‍යාපාරිකයන් පිරිසකට ඒත්තු ගන්වලා තියෙනවා.

ලංකාවට සමීප ප්‍රධාන රටවල් සියල්ලම එක්ක පාහේ තාමත් සබඳතා පවත්වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තාමත් දේශපාලන ලෝකයේ බලපෑම් සහගත චරිතයක්. ඇය ඒ බව 2015 ජනාධිපතිවරණය තුලත් පෙන්නුම් කලේ පරද්දන්න බෑ කියපු මහින්ද රාජපක්ෂ ව ගෙදර යවලා.

ඉතින් අරයා මෙයා ගොඩ දෙනෙක් ජනාධිපතිවරණ තරඟයට අපේක්ෂකත්ව ඇඳුම් ඇදන් ඉන්න වෙලාවේ චන්ද්‍රිකා ගේන්න හදන තුරුම්පුව දිහා විමසිල්ලෙන් බලන් ඉන්න වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *