ජනපති අනුරගේ පළමු ඉන්ධන සහනය

ජනපති අනුරගේ පළමු ඉන්ධන සහනය

අභිනවයෙන් පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව අද සිට ඉන්ධන මිල අඩු කිරීමක් ප්‍රකාශයට පත් කොට තිබේ. ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ මෙම ඉන්ධන මිල අඩු කිරීම සිදු කළේ ඉන්ධන මිල සූත්‍රය අනුව නො වන බවකි. කෙසේවෙතත්, පසුගිය රජයන් විසින් භාවිත කරන ලද ඉන්ධන මිල සූත්‍රය, ජාතික ජන බලවේග වේදිකාවේ දැඩි විවේචනයට බඳුන් වූ අතර, ඉන්ධනවල බදු ඉවත් කොට රු. 100 කට වැඩි මිල අඩු වීමක් ලබා දීමට හැකියාව පවතිද්දී, එවකට බලශක්ති ඇමැතිවරයා වූ කංචන විජේසේකර විසින් එම මිල අඩු කිරීම සිදු නොකරමින්, අමතර ලාභය සාක්කුවේ දමා ගන්නා බවට ද, ජාතික ජන බලවේගය මගින් නිරන්තර චෝදනා එල්ල කරන ලදී.

කෙසේවෙතත්, මේ වන විට බලයේ සිටින්නේ ජාතික ජන බලවේගය මගින් මෙහෙයවන ආණ්ඩුවකි. ඉන්ධන මිල සංශෝධනය සෑම මසකම මුල දී සිරිත් පරිදි සිදු කරන අතර, ජාතික ජන බලවේග ආණ්ඩුව මගින් දැවැන්ත ඉන්ධන මිල අඩු කිරීමක් සිදු කෙරෙතැයි එම පාක්ෂිකයන් සහ පොදු මහ ජනතාව තුළ අපේක්ෂාවක් පල වී තිබිණ. කෙසේ නමුත් ඉන්ධන මිල අඩු වීම සාමාන්‍ය පරිදි රු. 20 ක පමණ මට්ටමක පවත්වා ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබේ.

අප විසින් සිදු කරන ලද සොයා බැලීමක දී දැන ගත් කරුණු අනුව, පෙට්‍රල්, ඩීසල් සඳහා වූ පහත සඳහන් බදු කිසිවක් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට නොමැත.

  • Custom Import Duty – රේගු ආනයන බද්ද
  • VAT – අගය එකතු කිරීමේ බද්ද
  • Excise Import Duty

පෙට්‍රල් (92) සඳහා මේ සියලු බදු වල එකතුව ලීටරයක රු. 117 සීමාවේ පවතින අතර, සාමාන්‍ය ඩීසල් සඳහා රු. 100 ක සීමාවේ පවතී. බදු ඉවත් කිරීමක් සිදු කළේ නම්, මිල අඩු වීම මීට වඩා පරාසයක සිදු කිරීමට හැකියාව ලැබෙන බව පැහැදිලි ය.

කෙසේවෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාස කිහිපය තුළ ලැබූ ලාභයෙන් යම් කොටසක්, මෙම මිල අඩු කිරීම සඳහා භාවිත කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *