ජනාධිපතිවරණයේදී සහය කාටද? විමල්, දයාසිරි සහ ඩලස්ලාගේ තීරණය මැයි දිනයේ දී !!
ඉදිරි මැයි දිනය දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් කිරුළුපණ ක්‍රීඩාංගණයේ දී එක්ව පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මුලදී ඒ සඳහා සහභාගි වන බවට සූදානමක සිටි නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී පිරිස මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් 22 වැනිදා නිදහස ජනතා සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිත ය.
එදිනම දයාසිරි ජයසේකරගේ ‘මානුෂීය ජනතා සන්ධානය’ හා විමල් වීරවංශගේ උත්තර ලංකා සභාවේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.
මෙම කණ්ඩායම් සියල්ල එකතු වී ඉදිරි මැතිවරණයන් සඳහා මුහුණ දීමට නව සන්ධානයක් පිහිටුවීම ද සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වේ.
නමුත්, විමල් පාර්ශවයේ ඇතැම් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ වෙත ද ඩලස් පාර්ශවයේ ඇතැමුන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වෙත ද සහය පලකිරීමේ උත්සාහයන් ද, මේ අතර නැත්තේ නොවේ.
තත්ත්වය සමනය කිරීමට නම් ඉහත නම් සඳහන් නොකෙරුන පුද්ගලයෙකු පොදු අපේක්ෂක ලෙස වරම් ගැන්විය යුතු බවටද මේ සෑම පාර්ශවයකම අවධානය ට ලක් වී ඇති බවට ද තොරතුරු ලැබී ඇත.