ජනාධිපති සහෝදරයා: අනුරගේ ජය සහ සජිත්ගේ පරාජයට හේතු – දයාන් ජයතිලක

ජනාධිපති සහෝදරයා: අනුරගේ ජය සහ සජිත්ගේ පරාජයට හේතු – දයාන් ජයතිලක

ජනාධිපති සහෝදරයා: අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයේ සහ සජිත්ගේ පරාජයේ මානයන් : දයාන් ජයතිලක ‘Daily FT වෙත ලියූ ලිපියක් ඇසුරිනි.

අනුර දිසානායක කෙබඳු රාජ්‍ය නායකයෙක් ද, යන්න කාලය විසින් තීරණය කරනු ලබනු ඇත. නමුත් ඔහු දක්ෂ දේශපාලකයෙකු සහ දේශපාලන නායකයෙකු බවට පරිණාමය වී තිබීම ප්‍රශංසා කටයුතු ය. 2020 අගෝස්තු මාසයේ දී ආසන 3ක් සහ 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබා ගත් අනුර ඉන් වසර හතරකට පසුව 42%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ එබැවිනි.

සජිත් ප්‍රේමදාස පරදවා අනුර ජයග්‍රහණය කළේ, රනිල්ගේ ‘බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ’ පන්නයේ අපේක්ෂකත්වය කොල්ල කෑම බව අංක ගණිතය අනුව පැහැදිලි ය. නමුත් අනුර, මින් වසර දෙකකට හෝ ඔහු පවසන පරිදි වසර හතරකට පෙර, තම ප්‍රචාරණ ව්‍යාපෘතිය අරඹන විට ජයග්‍රහණය සිහිනයක් ම වූවා පමණක් නොව, රනිල් වික්‍රමසිංහ ද ජනාධිපති සටන තුළ සිටියේ නැත.

තම වයස් පරම්පරාවේ ම සගයෙකුගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන විපක්ෂය පරදවා ජයග්‍රහණය කිරීමට අනුර සමත් විය. ඔහු එසේ කළේ 2022 ජනතා අරගලයේ නායකත්වය නො ගනිමින් වීම විශේෂත්වයකි. නමුත් නව වාතාවරණය යොදා ගනිමින් අරගලයේ දේශපාලන අනුප්‍රාප්තිකයාගේ සහ මැතිවරණ ප්‍රකාශනයේ භූමිකාව බවට අනුර පත් විය. ඔහුට එසේ කිරීමට හැකි වූයේ 1953 හර්තාලයෙන් (ජන නැගිටීමෙන්) පසුව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ ශ්‍රීලනිප/මඑපෙ කළ කාර්යභාරය ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ඉටු නොකිරීම නිසාය. අනුර එම පරතරය හඳුනාගෙන තම ගමන වේගවත් කළේය.

නවීන දේශපාලන විද්‍යාවේ නිර්මාතෘ නිකොලෝ මැකියාවෙලි සඳහන් කර පරිදි, දේශපාලන සාර්ථකත්වයේ මූලික අංග‍යක් ලෙස සැලකිය හැකි ‘කුමාරයෙකුට’ තිබිය යුතු හැකියාව, කුසලතාව, අධිෂ්ඨානය (‘Virtu’) වඩවා පුරුදු පුහුණු කළ යුත්තකි. එමෙන් ම අනෙක් මූලිකාංගය වූ ‘Fortuna’ චංචල වාසනාව, නියම මොහොත පැමිණි විට හඳුනාගෙන අල්ලා ගැනීමට කුමාරයාට හැකිවන්නේ එවැනි ලක්‍ෂණ, කුසලතා, ගුණ, ගුණ ධර්ම වගා කිරීමෙනි.

2022 රනිල් අල්ලා ගත් මොහොත අනුර හෝ සජිත් දෙදෙනා අල්ලා ගත්තේවත්, ඔවුන් අරගලයට නායකත්වය දුන්නේවත් නැත. නමුත් ණය අර්බුදයේ සහ රනිල්-IMF කප්පාදුවේ පශ්චාත් අරගල මොහොත ග්‍රහණය කර ගත්තේ අනුර සහ ඔහුගේ සහචරයෝ ය. සජිත් සහ සමගි ජන බලවේගය රනිල්ගේ ආර්ථික මූලධර්මය පිළිබඳ මතවාදී අපැහැදිලිභාවය සහ රනිල්ට එරෙහිව ඔවුන්ගේ භූමිකාව පිළිබඳ දෙගිඩියාව හේතුවෙන් අසාර්ථක විය.

අනුරට නියම මොහොත පැමිණි විට හඳුනාගෙන අල්ලා ගැනීමට (Fortuna) හැකියාව ලැබුණේ සජිත්ට සහ සමගි ජන බලවේගයට වඩා බොහෝ සෙයින් ‘කුමාරයෙකුට’ තිබිය යුතු හැකියාව, කුසලතාව, අධිෂ්ඨානය (Virtu) වඩවා පුරුදු පුහුණු කර තිබූ නිසා ය. සමහර විට නීට්ෂේගේ බලයට ඇති කැමැත්ත යන සංකල්පය (‘Will to Power’) හොඳින් අවබෝධ කරගෙන සිටි නිසාය. රණසිංහ ප්‍රේමදාසට සහ මහින්ද රාජපක්ෂට එවැනි ගුණාංග ඕනෑ තරම් තිබූ බැවින් පිළිවෙළින් 1988 සහ 2005 දී ඔවුහු ජයග්‍රහණය කළහ.

මැකියාවෙලි සහ දේශපාලන න්‍යාය හැරුණු විට අනුර සතු සුවිශේෂී දේශපාලන කුසලතාව වන්නේ කරුණු දෙකක් සිදු කිරීමට ඇති හැකියාවයි.

  1. වඩා අවධානයෙන් මහජනයාට සවන් දීම සහ මහජනයාට අවශ්‍ය දේ, සමාජය පවසන දේ හඳුනා ගැනීම
  2. තමන්ගේ ම ආඛ්‍යානය තුළින් මහජන මතය හැඩ ගස්වා ගැනීම

අනුර මාඕවාදියෙකු නොවූව ද, මෙම අදහස මාවෝ විසින් හැඳින්වූ “the mass line” හා සමාන වේ. මෙම සංකල්පයෙන් අදහස් කරන්නේ මිනිසුන්ගේ අදහස් සහ හැඟීම් ගෙන, ඒවා පිරිපහදු කර සංවිධානය කිරීම සහ එම අදහස් නැවත ජනතාව වෙත ලබා දීමයි. මිනිසුන්ගේ අවශ්‍යතා සමඟ සම්බන්ධව සිටීමට සහ ඔවුන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීමට මෙම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස ක්‍රියා කර‍යි.

විපක්‍ෂ දේශපාලන නායකයකු හා ප්‍රචාරකයකු තරමට ම අනුර ජනාධිපතිවරයෙකු ලෙස දක්‍ෂ දේශපාලනඥයකු වේ දැයි බලා සිටිය යුතු වුවත්, ‘දේශපාලනය වෘත්තියක් ලෙස’ (මැක්ස් වෙබර්) ඔහු ගේ සුවිශේෂී හැකියාව සහ ජයග්‍රහණ අගය කළ යුතු ය.

සුවිශේෂී ලක්ෂණ

ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයේ සුවිශේෂී ලක්ෂණ දෙකක් ඇත. ඔහු රටේ පළමු වාමාංශික ජනාධිපතිවරයා; ඇත්ත වශයෙන් ම ඔහු විප්ලවවාදී මූලයන් සහිත, මාක්ස්වාදී වමේ සිට මෙතැනට පත් වූ පළමු වාමාංශික නායකයා ය. 50% කට අඩු ඡන්ද ප්‍රතිශතයකින් තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද ඔහු ය. දෙවැනි මනාප ඡන්ද ගණන් කිරීමෙන් පසුවත් එය එසේ විය. ඔහු රටේ ප්‍රථම ‘සුළුතර ජනාධිපතිවරයා’ වන අතර, එය වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් වූ නමුත් ප්‍රකාශිත ඡන්දවලින් බහුතරයකට (50%) නොවන ජනාධිපතිවරයකු පිළිබඳ නිර්වචනයයි.

2015 දී පරාජිත එජාපයේ සහාය ඇතිව ශ්‍රීලනිපයෙන් කැඩී ගිය කණ්ඩායමක් මෙහෙය වූ ‘ක්ෂණික අපේක්ෂකයෙකු’ වූ මෛත්‍රීපාල සිරිසේන ද, 50% කඩඉම පසු කළේය. එබැවින් AKD දිවයිනේ පළමු මාක්ස්වාදී, සුළුතර ජනාධිපතිවරයා වේ. මෙම සුවිශේෂී ලක්ෂණ දෙක, එකිනෙකට බැඳී ඇති සහ අන්තර්ක්‍රියාකාරී, ඔහුගේ ජනාධිපති ධූරය සනිටුහන් කර ඇත.

ඡන්දදායකයන් විසින් ජනාධිපතිවරණයේ සහ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වඩාත් ම රැඩිකල් නැත්නම් වාමාංශික අපේක්ෂකයා තෝරාගත් නමුත්, ඔහුට හිමි වූයේ ඉතිහාසයේ සීමිත ම ජන වරමකි. එමගින් පැහැදිලි තේරීමක් සිදු වූ නමුත්, එය දැවැන්ත ජයග්‍රහණයක් නොවීය.

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් කිසිවෙකුට සම්පූර්ණ පාලනයක් ලබා නොදී සැලකිය යුතු වෙනසක් තෝරා ගෙන තිබේ.

ඔවුන් අනුර කුමාර දිසානායකව කොහෙද තැබුවේ? පළමුව, විශාල සමාජ සහ පරම්පරාගත සුහදතාවයේ කීර්තිනාමයක් සමග, දෙවනුව විශාල අපේක්ෂාවන් සමග, තෙවනුව, තරමක් පැහැදිලි මාර්ග සිතියමක් සහ සීමිත මාර්ග තෝරා ගැනීමක් සමග.

දේශපාලන විද්‍යා සාහිත්‍යයේ, ‘සුළුතර ජනාධිපති තනතුරු’ ‘සන්ධාන ජනාධිපතිකම්’ ලෙස ද හඳුන්වනු ලබන අතර, සම්මුතිය ලබා ගැනීම සඳහා ‘ අන්තර් පක්ෂ සභාග’ තෝරා ගනී. අනුර එම මාර්ගයට ප්‍රතිපක්ෂ මාර්ගයක් තෝරා ගත්ත ද, ඔහු විපක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස සමග සංවාදයෙන් සම්මුතියේ දේශපාලන සංස්කෘතිය තෝරා ගැනීමේ හැකියාවක් ද පවතී.

අනුර කුමාර දිසානායක හට ඇත්ත වශයෙන්ම වෙනත් මාර්ගයකට යා හැකිය: ඒ සාපේක්ෂ වශයෙන් සීමිත ජනාධිපති ජනවරම හිලව් කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතරයක් ඉලක්ක කර ගනිමිනි.

එම ඉලක්කය ළඟා කර ගත හැකි වුවද, සම්මුතියක් ඇති කර ගැනීම සඳහා භාවිත කර හැකි වෙනත් විකල්පයන් ද පවතී. මන්ද යත්, ශ්‍රී ලංකාවේ 50% කට වැඩි ජනප්‍රියත්වයක් සහ දැවැන්ත පාර්ලිමේන්තු බහුතරයක් (2/3, 5/6 පවා) තිබූ ජනාධිපතිවරුන් පවා අමාරුවේ වැටුණු ඉතිහාසයක් පවතින බැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදය සමාජගත කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය සිංහල සමාජයේ සමාජ පන්ති පුළුල් ලෙස ඒකාබද්ධ කිරීමේ රැල්ලකි. සිංහල සමාජය තුළ ක්‍රම ක්‍රමයෙන් වැඩි වැඩියෙන් සමාජ පන්ති ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වී තිබේ. මුලදී දේශපාලන බලය තිබුණේ ඉහළ පැලැන්තියට පමණක් වන නමුත් කාලයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මධ්‍යම හා පහළ පන්තිවලට සම්බන්ධ වන පරිදි පුළුල් විය. මෙම ක්‍රියාවලිය පහත් හෝ ආන්තික කණ්ඩායම්වල (“සබල්ටර්න්” පංති ලෙස හැඳින්වෙන) පුද්ගලයින්ට සමාජ හා ආර්ථික ප්‍රගතිය සඳහා අවස්ථාවන් ලබා ගැනීමට ඉඩ ලබා දී ඇති අතර, ඔවුන්ට සමාජයේ ඔවුන්ගේ තත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබේ.

අනුරගේ ජයග්‍රහණය දෙවැනි නිහඬ විප්ලවය හෙවත් තුන්වැනි විප්ලවයයි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 1956 ජයග්‍රහණය ‘නිහඬ විප්ලවය’ ලෙස පුළුල් ලෙස හඳුන්වනු ලැබුවේ, මහා නවකතාකරු මාර්ටින් වික්‍රමසිංහගේ වදන්වලින්, “බමුණු කුලය බිඳවැටීම” සහ සිංහල සමාජයේ මෙතෙක් කොන් කරන ලද පිරිසක ගේ ජයග්‍රහණයකින් පැරණි බටහිරකරණය වූ ප්‍රභූ පැලැන්තිය කම්පනයට පත් වූ බැවිනි.

මාක්ස්වාදී වාමාංශික පක්ෂ දෙක වන ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සන්ධානගත ව 1970 සිරිමාවෝ බණ්ඩාරනායක ලබා ගත් ජයග්‍රහණය, , දෙවන නිහඬ විප්ලවය ලෙස හැඳින්වූ නමුත් ඊට පළමුවැන්න තරම් කම්පනයක් නොතිබුණි. ‘1956’ සන්ධිස්ථානය ලෙස පැවතුනි.

මීළඟ සමාජ ගැඹුරු වීම හෝ පුළුල් වීම වූයේ පන්ති-කුල සිවිලිම බිඳ දමා ඉහළට පැමිණි රණසිංහ ප්‍රේමදාසගේ (1988-1993) ජනාධිපතිවරණ ජයග්‍රහණයයි.

මහාචාර්ය ගාමිණී සමරනායක සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ සඳහන් කර ඇති පරිදි ඉන්දියාව, පකිස්ථානය, ලංකාව සහ මාලදිවයිනේ රාජකීය සංගමයේ සසෙක්ස් පදනම් කර ගත් සඟරාවක් වන, දකුණු ආසියාතික සමාලෝචන (1972) සඟරාවේ රචනාවක දී ජවිපෙ “56 හි දරුවන්” ලෙස හැඳින්වූ පළමු පුද්ගලයා මර්වින් ද සිල්වා ය. මර්වින් අදහස් කළේ 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායකගේ ජයග්‍රහණය “නිම නොවූ විප්ලවයක්” වන අතර එය පාදඩ පංතිවල සිංහල උගත් තරුණයින්ගේ අපේක්ෂාවන් ඉහළ නංවා ඇති නමුත් ඒවා ඉටු කිරීමට අපොහොසත් වූ බවකි. 1971 අප්‍රේල් කැරැල්ල එහි ප්‍රතිඵලයක් බව ඔහු පවසයි.

අනුරගේ 2024 ජයග්‍රහණය දේශපාලන සංස්ථාපිත වීමේ දීර්ඝ ඓතිහාසික ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමක් ලෙස දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් බවට ගමන් කිරීමේ හා එය බවට පත්වීමේ සුවිශේෂී ක්‍රමයක් ඇත. එය දේශපාලන සමාජගත කිරීම හරහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත් වේ. AKD ගේ ජයග්‍රහණය SWRD ගේ 1956 ජයග්‍රහණයෙන් ආරම්භ වූ එම ක්‍රියාවලියේ සන්ධිස්ථානයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අභියෝගය වන්නේ දැඩි ආර්ථික සීමාවන් තුළ වැඩ කරමින් ජනතාවගේ සමාජ අපේක්ෂාවන් සපුරාලීමයි.

ශ්‍රී ලංකාව දෙකඩ වීම

ඕනෑම ජනාධිපති ධුරයකට වඩා විශාල අර්බුදය, මම මගේ පළමු පොතේ (‘Travails of a Democracy’, Vikas, New Delhi 1995) (‘ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන’, විකාස්, නවදිල්ලිය 1995) ශ්‍රී ලංකාවේ ‘දිගුකාලීන අර්බුදය’ ලෙස නම් කර ඇත.

මෙම අර්බුදය දිගටම පවතින බව පශ්චාත් මැතිවරණ සිතියමෙන් ප්‍රකාශ වන අතර, සිංහල අන්ත ජාතිකවාදියෙකු නොවන අනුර ජයග්‍රහණය කර ඇත්තේ දිවයිනේ සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල පමණක් වද්දී සජිත් ප්‍රේමදාස බහුතර ජනවාර්ගික භාෂා සුළු ජාතීන් සිටින සියලුම ප්‍රදේශ ජයග්‍රහණය කර ඇත. වාර්ගික කලාපීය සුළු ජාතිකයන් අනුරගේ පණිවිඩයට ලබා ගෙන නො මැත. මෙම බෙදීම ප්‍රතික්ෂේප කළ නො හැකි තත්ත්වයකි.

අනුරගේ ජයග්‍රහණයට බහුවිධ අර්ථ ඇත. එය ගැඹුරු සමාජ ජයග්‍රහණයක් වන නමුත් විවිධ ප්‍රදේශ හෝ ජනවාර්ගික කණ්ඩායම් හරහා පුළුල් ලෙස පැතිරෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළට ගමන් කිරීමක් සහ පන්ති බාධක ඉවත් කර දැමීමක් පැහැදිලිව පෙන්නුම් කරන නමුත්, මෙහි ප්‍රගතිය බොහෝ කොට සිංහල සමාජය තුළට පමණක් සීමා වී ඇති බව මින් පෙන්නුම් කරයි. පුළුල් සමාජ ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාවලිය සිංහලයන්ට ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ අත්කර දී ඇත්තේ දෘෂ්ටිවාදය නිසා නොව, එය සම්පූර්ණයෙන්ම අනෙකුත් ප්‍රජාවන් වෙත ව්‍යාප්ත වී නොමැති බැවිනි.

අසාර්ථක වී ඇත්තේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමයි. මෙය පශ්චාත් මැතිවරණ සිතියම විචිත්‍රවත් ලෙස හෙළි කරන අසාර්ථකත්වයකි.

තමන් නායකත්වය ලබා දුන් සාමකාමී පරිවර්තනයට එක් වන මෙන් අනුර කුමාර දිසානායක සිදු කළ ආයාචනය පිළිගැනීමට කඳුකරයේ සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයා මෙන් ම, මුස්ලිම් ජනතාව ද, පෙළ ගැසී නොමැත. ජාතිවාදී නො වීම හෝ ජාතිවාදී විරෝධී වීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති වශයෙන් අනුරට පිළිගැනීමට සිදු වනු ඇති අතර, සාමූහික අනන්‍යතා සහ යම් ප්‍රමාණවත් ආකාරයේ භෞමික ස්වාධීනත්වයක් හඳුනා ගැනීම අවශ්‍ය වන බව මින් ගම්‍ය වේ.

අනුරට හොඳ අවස්ථාවන් දෙකක් තිබේ. ඔහුට පෙර සිරිමා, චන්ද්‍රිකා සහ මහින්ද කල පරිදි, කතෝලික ප්‍රජාව ආශ්‍රයෙන් වාර්ගික – ප්‍රාදේශීය සහ වාර්ගික – භාෂා භේදය කපා හැරීම ඉන් එකකි. දේශපාලන සංවාදයට සහ සම්මුතියට පහසුකම් සැලසීම සඳහා කතෝලික/ක්‍රිස්තියානි පල්ලිය හරහා අනුරට හොඳ අවස්ථාවක් සැලසී තිබේ. අනෙක් අවස්ථාව වන්නේ, සජිත් ප්‍රේමදාස යනු ජනවාර්ගික කලාපීය භේදය ඉක්මවා සහයෝගයක් දක්වන එකම ශ්‍රී ලාංකීය දේශපාලකයා වීම හේතුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට අන්තර් පක්‍ෂ සම්මුතියක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය සගයා සජිත් ප්‍රේමදාස තුළින් මුණ ගැසීම ය.

අවබෝධය – AKD

සිය පූර්වගාමීන් මෙන්ම අනුර දිසානායක ජනාධිපතිවරයා ද උපාය මාර්ගික ගැටලු දෙකකට මුහුණ දී සිටී. ඔවුන්ගෙන් සමහරක් මෙන් නොව, ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී අභියෝගයකට මුහුණ නො දේ. ඔහු මුහුණ දෙන එකිනෙකට ගැට ගැසුණු ගැටලු දෙක වන්නේ ආර්ථිකය සහ ජනවාර්ගික ප්‍රශ්නයයි.

සිංහල බහුතරයක් තමන් සමග සිටින නමුත්, ‘බහුතරවාදී’ පදනමක් නොමැති ‘සුළුතර ජනාධිපති’ වශයෙන් අමෙරිකානු සහ ප්‍රංශ ජනාධිපතිවරුන් වෙත ලබා දෙන උපදේශය අනුරට වඩා හොඳින් ගැලපේ. ‘ඔබට වමෙන් හෝ දකුණෙන් උද්ඝෝෂනය කළ හැකි නමුත් ඔබ මධ්‍යයේ සිට පාලනය කළ යුතුය.’ ඒ ප්‍රංශයේ සමාජවාදී නායකයා, ජනාධිපති ෆ්‍රැන්කොයිස් මිත්‍රාන්ඩ්, බ්‍රසීලයේ ලූලා සහ නවසීලන්තයේ ජසින්ඩා ආර්ඩර්න් සාර්ථක වූ ආකාරයයි.

අනුර කුමාර දිසානායක මධ්‍යයේ සිට පාලනය කරයිද නැතහොත් ඔහු වම සහ මධ්‍ය අතර ගමන් කරයිද? ඔහු කොපමණ වමට යන්නේද සහ කුමන ආකාරයේ වමට ගමන් කරයි ද?

අනුර සහ ජනතා විමුක්ති පෙරමුණේ මූලික විශ්වාසයන් එකිනෙකට බද්ධ වූ නූල් දෙකකට සමාන කළ හැකිය. මෙම ප්‍රධාන අදහස් දෙක නම් ඒවායේ සාර්ථකත්වයට හේතු වූ ප්‍රායෝගික, යථාර්ථවාදී ප්‍රවේශය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නුගේගොඩදී කළ කතාවේ අවසාන කොටසේ දක්නට ලැබෙන වඩාත් රැඩිකල්, විප්ලවීය ස්වරයයි.

ටිල්වින් සිය කතාව අවසන් කළේ 1871 තේජාන්විත එහෙත් තලා දැමූ පැරිස් කොමියුනයට පසුව ඉයුජින් පොටියර් විසින් ප්‍රංශ භාෂාවෙන් කවියක් ලෙසින් රචනා කරන ලද ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ පාගමන ගීතය වන The Internationale හි කොටසකිනි. සමසමාජ පක්ෂයේ “සාදුකින් පෙලෙන වුන්” ගීතයේ දුර්වල පිටපත ගැන රෝහණ විජේවීර සිටියේ සාධාරණ කෝපයකිනි. එය සමසමාජවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ලද මාක්ස්වාදයේ දියාරු ස්වභාවය නියෝජනය කරන බව ඔහු පෙන්වා දුන්නේ ය.

1978 දී සිරෙන් නිදහස් වූ පසු, ඔහු ප්‍රසිද්ධ කොමියුනිස්ට්වාදියෙකු වන ඉන්දික ගුණවර්ධනගෙන් (හිටපු අගමැති දිනේෂ්ගේ සොයුරු) සහ ගායිකා සුනිලා අබේසේකරගෙන් ඉල්ලා සිටියේ “ද ඉන්ටර්නැෂනල්” ප්‍රධාන භාෂාවලින් පටිගත කිරීම් සොයා ගැනීමට සහ එය පරිවර්තනය කිරීමට උදව් කරන ලෙසයි. ඔවුහු එම කාර්යය සාර්ථකව නිම කළ හ.

විජේවීර සිංහල කතා කරන ප්‍රේක්ෂකයන්ට “සැබෑ, අව්‍යාජ Internationale” හඳුන්වා දුන් අතර ඔහුගේ සියලු කථා අවසන් කළේ එහි කොටසකිනි. ගායකයෙකු නො වූ ඔහු එය කාව්‍යයක් ලෙස ඉදිරිපත් කළේ ය.

The Internationale යනු, සම්භාව්‍ය – සහ සම්භාව්‍ය – නගා සිටුවීමේ තාලයක් සහිත පෙළපාලි ගීතයකි; ඉහළ යන ගීතිකාවක්. එම සුප්‍රසිද්ධ ගායනයේ ප්‍රධාන අවසාන අරුත වන්නේ “ජාත්‍යන්තරය මානව වර්ගයා වනු ඇත” යන්නයි. චීනයේ ප්‍රශංසනීය විප්ලවවාදී අගමැති සහ විදේශ අමාත්‍ය Zhou Enlai එය රෝහලේ දී ගායනා කළේ තම මරණ මංචකයේ සිට ය.

ටිල්වින් සිල්වා එම ගී ඛණ්ඩය (නැගිටපල්ලා, නැගිටපල්ලා. නුඹලගේ වාරය ඇවිල්ලා) විජේවීරගේ කාව්‍යමය අනුකරණයෙන් වෙනස් ක්‍රමයක් අනුගමනය කරමින් වඩාත් වේගවත්, ආවේගශීලී ස්වරයෙන් ගායනා කළේ ය. ඔහු අනුරගේ ව්‍යාපාරය අවසන් කළේ ජාත්‍යන්තරය පුරාවෘත්තයක් වන විශ්වවාදී-මානවවාදී වාක්‍යයකින් නොව, හරියටම පන්ති අරගලය අවධාරණය කරන පරිවර්තන ගීතයකිනි. ටිල්වින් එය දැඩි ලෙස නුගේගොඩ රාත්‍රී ගුවනට මුසු කළේ ආවේගයකින්, අනුශාසනාකාරී සටන් හඬකිනි.

ඒ එකිනෙකට බද්ධ වූ නූල් දෙකින් එකකි. මේ දෙකෙන් කවරක් ජය ගනීවි ද?

සජිත් ගේ දෙවැනි පරාජය

2019 නොවැම්බරයේ දී සජිත් ගෝඨාභයට පරාජය වූ විට ලබාගත් ඡන්ද ප්‍රමාණයට බොහෝ දුරට සමාන වන ආකාරයෙන් අනුර දිසානායක 42%ක් ලබාගෙන ජයග්‍රහණය කළේ ය. සජිත් ඔහුගේ 42% න් පසුබැසීම සහ එය රඳවා තබා ගැනීමට සහ වැඩි දියුණු කිරීමට නොහැකි වීම ප්‍රකාශිත අසාර්ථකත්වයකි.

රනිල් 2024 ජනාධිපතිවරණයේ දී සජිත්ව හෑල්ලු කර අනුරට අනියම් උදව්වක් කළ නමුත්, වසර හතරක් ගෙවී ඇතත්, සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයෙන් (රනිල්ගේ ක්‍රියා කලාපයෙන්) වන බලපෑම අවසන් කිරීමට සජිත්ට හැකි ව නොමැත..මෙය පුදුමයට කරුණක් වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය), ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය), සහ ජනතා විමුක්ති පෙරමුණ (සමාජවාදී පක්ෂවලින් කැඩී ගිය) වැනි අනෙකුත් කැඩී ගිය පක්ෂ ඔවුන්ගේ මව් පක්ෂ සමග මෙවන් අරගලවලට මුහුණ නො දීම ය.

පාර්ලිමේන්තුව විසින් පත් කර ගන්නා ලද ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කප්පාදුව සමග කටයුතු කරමින් සිටින අතර, සමගි ජන බලවේගයේ ප්‍රධාන ආර්ථික විද්වතුන් වන ඉරාන්-හර්ෂ-කබීර්, රනිල් වික්‍රමසිංහගේ 2001-2003 සහ 2015-2019 එජාප පරිපාලනයේ ස්වර්ණමය අතීතය ගැන සිහි කරමින් ඊට රහසින් සහාය දැක්වීමක නිරත විය.

අරගලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ආර්ථික පාලනය හේතුවෙන් මහජන මතය ප්‍රභූ පන්තිය එළවීම කරා ගමන් කරද්දී, සමගි ජන බලවේගයේ ඉහත කී ආර්ථික ත්‍රිත්වය, රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ අඛණ්ඩ පැවැත්මක් සමගි ජන බලවේගය වෙත ගෙන ආ අතර, පැරණි UNP සංස්ථාපිතය සමඟ එය වඩාත් සමීප විය.

සජිත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරද්දී මේ තිදෙනා එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති කතිකාවෙන් ඉවත් කර රනිල් හඳුන්වා දුන් ‘සමාජ වෙළෙඳපොළ ආර්ථිකය’ අවධාරණය කළේ ය.

ඔවුන්ගේ අවධානය යොමු වූයේ සජිත් ජනාධිපතිවරණය ජය ගැනීම සහතික කිරීම නොව IMF සමග කතිකාවත සමග ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම ය. හර්ෂ කෝට්ටේත්, එරාන් මොරටුවත්, කබීර් මාවනැල්ලත් පරාජයට පත් විය.

සජිත්ගේ ‘තරු කණ්ඩායම’ හර්ෂ-එරාන්-කබීර් කිසිවිටෙකත් රනිල්ට විරුද්ධවාදියෙකු ලෙස සැලකුවේ නැත, නමුත් රනිල්; සජිත් තම ප්‍රධාන සතුරා ලෙස පැහැදිලිව සැලකූ බව ඔප්පු විය.

සමගි ජන බලවේගයේ ආර්ථික සභාව සහ සැලැස්ම රනිල්ගේ 5 වන තීරුව නැත්නම් සමගි ජන බලවේගය තුළ ට්‍රෝජන් අශ්වයා විය. රනිල් පිටතින් කළ හානිය සක්‍රීය කර සම්පූර්ණ කළේ ඔවුන් ඇතුළතින් කළ හානියෙනි.

ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට අනුර කුමාර දිසානායකට නොහැකි වේය යන ආර්ථික නියතිවාදයක සමගි ජන බලවේගය සිර වී සිටියි. නමුත් ඔවුන් 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී මුහුණ දෙන්නේ සැප්තැම්බර් මාසයට වඩා ජනප්‍රිය ජනාධිපතිවරයෙකුට ය. ඔහුගේ නව, ප්‍රබෝධමත් තාර්කික පාලන විලාසය සමග ජනප්‍රියත්වය වැඩි වනු ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයේ දී සජිත්ගේ සමගි ජන බලවේගය – සමගි ජන සන්ධානය සංවර්ධන විකල්පයක් ඉදිරිපත් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස ඉදිරිපත් විය යුතු ය. සමගි ජන බලවේගය නැවත ප්‍රතිසංවිධානය කොට සකස් නො කළ හොත් සජිත් ප්‍රේමදාසට, අනුර කුමාර දිසානායකගේ සාධනීය සහකරුවා වූ අගමැති ලෙස ක්‍රියා කළ නො හැකි වනු ඇත.

ගුණාත්මක වෙනසක් කිරීමට සමගි ජන බලවේගය අසමත් වුව හොත්, දැඩි ලෙස ප්‍රතිසංවිධානය නො කළ හොත්, සමගි ජන බලවේගය 1956, 1970 සහ 2020 දී එජාපය මෙන් ජාතික ජන බලවේගයේ මැතිවරණ සුනාමියකින් ගසාගෙන යනු ඇත. සියලු ම දේ ට වඩා නරක ම දෙය නම්, පාර්ලිමේන්තුවට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ රටට අවශ්‍ය සමතුලිත දේශපාලනයක් මින් අහිමි වී යාම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *