ජය පරාජයෙන් තොරව අවසන් වූ මැයි දින තරඟය සහ දෙවන මනාපය
ලංකාවේ මැයි දින සැමරුම් නිමා උනේ එම සැමරුම්වලට මුවා වී ලංකාවේ ප්‍රධාන දේශපාලන කඳවුරු තුන එකිනෙකාට පෙන්වන්නට දත කෑ හයිය අඩුත් නැති වැඩිත් නැති එකක් බව ඔවුන් එකිනෙකාට ම සනාථ කර ගනිමිනි.
ඒ අනුව මැයි දිනය නම් තරඟය නිමා වුනේ ජය පරාජයෙන් තොරවය.
කවුරුන් හෝ එම සටනින් දිනුවා නම් ඒ මේ දේශපාලන කඳවුරුවලට මුදල් වලට බස් සැපයූ බස් මුදලාලිලා ටික පමණි.
අනුර දිනුම් කීවත් වැරදිය, සජිත් දිනුම් කීවත් වැරදිය , රනිල් දිනුම් කීවත් වැරදිය.
මොකද සියල්ලෝම හොඳ හැටි වියදම් කර පෙන්වන්න උත්සාහ කළ මිනිස්සු ප්‍රමාණය නම් සාධකය මේ තුන්ගොල්ලන්ටම සමානව සිටි බැවිනි.
අනුර රැලි හතරක් කෙරුවේ ඔක්කොම සෙනග කොළඹට ගේන්න බස් වියදම වැඩි වෙන නිසා නොවේ, ඔහු කළේ උපක්රමික තේරීමකි. ඒ රට වටා බලය තමන්ට ඇති බව පෙන්වීමට ය.
නමුත් සජිත් මෙන්ම රනිල් ද ඒ උපාය කල් තියා හැඳිනගෙන තිබිණ. ඒ නිසාම ඔවුන් දෙදෙනාම මධ්‍ය කඳුකරයේ දේශපාලන හයිය පෙන්වීමට කටයුතු කළේ එහි ඡන්ද යනු රජුන් තනන්නන් බව අනුරට මතක් කර දීමට ය.
පොළොවට පස් වී ඇතැයි සජිත් මෙන්ම අනුරලා ද කැට තියා කියූ UNP ය මෙන්ම පොහොට්ටුව ද තම හයිය මැයි රැලි හරහා පෙන්වමින් තවමත් රටේ දේශපාලන පොර පිටිය විවෘත බව පෙන්වීමට සමත් විය.
ගුණය නම් සාධකය අතින් ගත් විට කම්කරු දිනයට අදාළ ව හෝ රටේ ආර්ථික ක්‍රියාවලියට අදාළ ව හෝ හරවත් වැදගත් යමක් මේ කිසිදු වේදිකාවකින් නොඇසුන බව ද නොකියාම බැරිය.
හුදු අනෙකාට අභියෝග කිරීම්, උසුලු විසුලු, බැණ අඬගෑම් හැරුන විට මැයි රැලි කථා වල වෙනත් ගත යුතු යමක් තිබුණේ ම නැත.
මැයි දින රැලි අරඹයා සරල නිගමන දෙකකට එලඹීමට අවස්ථාව උදාකර ඇත.
එකක් නම් අපේ රටේ ජනතාව මීට වසර හතරකට පෙර සිටි ජනතාවම බවය. නිතර ඇසෙන – ජනතාව දැන් බුද්ධිමත් – අරගලයට පසු ඔවුන් වෙනස් වෙලා – වගේ කථා හුදු ප්‍රලාප ම පමණි.
ජනතාව වෙනස් වී නැත. ඔවුන්ව වෙනස් කරන්න උත්සහ කරන දේශපාලන පක්ෂද වෙනස් වී නැත. මේ ජනතාව හෙට දිනයේදී ද තවත් පඹ ගාලක පැටලැවීමට ඇති ඉඩ යනු කාලය පිළිබඳ ගැටලුවක් පමණි.
අනිත් එක නම් මැතිවරණ කොමිසමට මහ ඇබැද්දියකට මුහුණ දීමට සිදු වන බවය. ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙනි.
ඉදිරියට තත්ත්වය යන්නේ මේ ආකාරයෙන්ම නම් ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා පළමු ඡන්ද ගණන් කිරීමේ වටයෙන් තීරණය නොවනු ඇත. එනම් රනිල්ට හෝ සජිත්ට හෝ අනුරට 50% කුත් එක ඡන්දයක් ගන්න ට බැරිවීම ය. කොමිසමට වන්නේ දෙවන මනාපය ගැන දැන් තියා රටේ ජනතාව දැනුවත් කිරීමට ය.