ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී අතීතයේ සංකේතයක් වූ ආගිරිස් කොස්තා සමුගනී. ඝාතන සම්බන්ධ පරීක්ෂණ කෝ?

ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී අතීතයේ සංකේතයක් වූ ආගිරිස් කොස්තා සමුගනී. ඝාතන සම්බන්ධ පරීක්ෂණ කෝ?

1986/89 කාල සීමාව තුළ ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිකයෙකු වූ ආගිරිස් කොස්තා ජීවිතයෙන් සමුගෙන තිබේ. ආගිරිස් කොස්තා යන නමත් සමග කියවෙන්නේ ජවිපෙ සහ එවකට පැවැති ආණ්ඩුව මෙන්ම, ජවිපෙ විරෝධී පිරිස් අතර ඇති වූ ගැටුම් ය.

1986 දෙසැම්බර් 15 වන දින බණ්ඩාරගම හිරණ තොටුපොල අසලදී ඝාතනයට ලක් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණගේ ඝාතනය සම්බන්ධයෙන් ආගිරිස් කොස්තාගේ නම ප්‍රධාන වශයෙන් කියවිණ. මෙම ඝාතනයේ දී දයා පතිරණගේ බෙල්ලට පිහියෙන් ඇන කෙටේරියකින් බෙල්ල කපා තිබිණ. ආගිරිස් සිල්වාට එම සිද්ධිය සම්බන්ධයෙන් සෝදිසි වරෙන්තු නිකුත් වූ අතර, ඔහු සහ ඔහුගේ සමීපතමයින් අදාළ මැර ක්‍රියාකාරකම්වලට සෘජුව සම්බන්ධ වූ බව විශේෂයෙන් පරීක්ෂාවන් හරහා හෙළි විය. ඔහු , සරත්, සුගත්, මහීපාල, ගාමිණී සහ කුමාර මල්ලී යන පුද්ගලයන් සමඟ මෙම ඝාතනයෙන් පසු හෝකන්දර නිවසක හමුවී ඇති බව වාර්තා වේ.

මෙම හමුවීම් දයා පතිරණගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අතර ඇති සම්බන්ධතා සහ කටයුතු පිළිබඳව පරීක්ෂණවලදී සලකා බැලී ඇත. එම කාලයේ විශ්වවිද්‍යාල සිසුන් අතර දේශපාලන අරගල සහ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්තව පැවති අතර, ආගිරිස් කොස්තාගේ නම එම සිදුවීම් සමඟ සම්බන්ධ වී තිබේ. මෙම විස්තර ධර්මන් වික්‍රමරත්න ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ පොතේ හෙළිදරව් කර තිබේ.

එදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අන්තරයේ) බලය ජවිපෙ අතට තබා ගත යුතු නිසා ඊට අභියෝග කළ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ ඝාතනය කෙළේ ජවිපෙ දේශපාලන නායකත්වයේ මෙහෙයැවීමෙන් බව කියැවේ.

ඒ දිනවල ඝාතනය වූ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි තවත් ශිෂ්‍ය නායකයින් රැසකගේ ඝාතන හා වෘත්තීය සමිති නායකයින් වූ කොමියුනිස්ට් පක්ෂයේ එල්.බඩ්ලිව්. පණ්ඩිත වැනි අය ද, විජය කුමාරණතුංග, දේව බණ්ඩාර සේනාරත්න වැනි ප්‍රතිවිරුද්ධ දේශපාලන නායකයින් මෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වැනි කලා ශිල්පීන්ගේ ඝාතන ද, රට පුරා සිදු වූ වැල්ලවත්ත මහජන බැංකුවේ දෙමළ ජනතාවගේ රත්තරන් මංකොල්ල කෑම වැනි මංකොල්ලකෑම් ද, පිළියන්දළ, මඩපාත ජවිපෙ සන්නද්ධ අංශ මූලස්ථානය මගින් සිදු කළ බවට චෝදනා නැගෙයි.

අවාසනාවකට ශ්‍රී ලංකාවේ 1971 අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව වැනි  විධිමත් පරීක්ෂණ, නඩු විභාග නොමැති වීමේ හේතුවෙන් එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු අතුරුදන් කළා මිස ඒවාට අණ දුන්, සැලසුම් කළ දේශපාලන නායකයින් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් හෝ නඩු පැවරීමක් සිදු නොවී ය. ආගිරිස් කොස්තා සම්බන්ධයෙන් සිදු වූයේ ද එවැනි ම ක්‍රියාවලියකි.

තාජුඩීන්, එක්නැලිගොඩ ඝාතන මෙන්ම 1986 දයා පතිරණගෙන් පටන් ගෙන සිදු කරන ලද 6,000 කට අධික දේශපාලන ඝාතනවලට අණ දුන් නායකයින් (ජීවතුන් අතර ඇති සහ නැති) සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කොට යුක්තිය ඉටු කිරීමට කාලය එලඹ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *