ජවිපෙ සිහිනය වූ  ශ්‍රිලනිප ගමනක අවසානය !!

ජවිපෙ සිහිනය වූ  ශ්‍රිලනිප ගමනක අවසානය !!

“අතේ”  ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් ඇත. ප්‍රශ්න වලට හේතු වුන මෛත්‍රීපාල සිරිසේන දැන් රටෙත් නැත. ඔහුගේ දියණියගේ පොතේ එන ලෙසම නිවසට ගිනි තබා ඔහු පැන ගොසිනි.  අවම  වශයෙන් පාස්කු සිදුවීමට වසර පහක් සපිරෙන දිනය පසු වන තෙක් ඔහු ලංකාවට නොඑනු ඇත.

දැන් මෛත්‍රීපාල පාර්ශ්වය සහ නිමල් සිරිපාල පාර්ශ්වය ඩාර්ලි පාරේ දේපල වලට රණ්ඩු වීමට පටන් ගෙන ඇත. පක්ෂ දෙකඩ වන විට මේවා අමුතු දේවල් නොවේ.

ජවිපෙන් කුමාර ගුණරත්නම් ඇතුලු පිරිස ඉවත්ව යන විට ද පැලවත්තේ දේපල සම්බන්ධව ද මෙවැනිම ගැටුම් නිර්මාණය විය.

70 දශකයේ අග දී UNP J R  ශ්‍රිලනිප නායිකා සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අතර, ඊට එරෙහිව අනෙකුත් දේශපාලන පක්‍ෂ සියල්ල විරෝධය දක්වද්දී නිහඬව සිටියේ ජවිපෙ පමණි. එතකින් නොනැවතුන ඔවුන්  – ශ්‍රිලනිපයේ ගමනක අවසානය – මැයෙන්  ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීය.  රෝහණ විජේවීර එහි පළමු පියවර තැබුවේ 1979 සැප්තැම්බරයේ ය.

ඒ සඳහා ජවිපෙට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ලබා දීමට තරම් UNP සහ JVP මතය සමගාමී වී තිබිණ.  (2022 අරගලය ට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව ඊට සම්බන්ධ ජවිපෙ නායකයන් බේරා හැරීම මෙහිලා මතකයට ගත යුතුය..)

ජවිපෙ  වුවමනාව වූයේ එවකට පාලක UNP ය හැරුණු විට රටේ දේශපාලනයේ ඉතිරි විය යුතු අනෙක් පක්ෂය ජවිපෙ පමණක් කරවීමය.   ජවිපෙ එම අවශ්‍යතාව දේශපාලනිකව මෙන්ම භෞතිකව ශ්‍රිලනිප නායකයන් ඉවත් කිරීමෙන් ද සිදු කිරීමට ඇතැම් අවස්ථාවල පසුබට නොවීය.  එකල කළුතර ශ්‍රිලනිප සංවිධායක ඉන්ද්‍රපාල අබේවීර සහ හක්මන ශ්‍රිලනිප සංවිධායක රත්නායක ඇතුලු විශාල ශ්‍රිලනිප ප්‍රධාන ක්‍රියාකාරිකයන්ට අත් වූ ඉරණම ද  ශ්‍රිලනිප රැස්වීම් කඩාකප්පල් කිරීමට සිදු කළ බෝම්බ ප්‍රහාර ඇතුලු සිදුවීම් ඊට දෙස් දෙයි.

නමුත් ජවිපෙ උත්සාහය පල දැරුවේ නැති අතර, හතර ගාතෙන් වැටී සිටි ශ්‍රිලනිපය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නායකත්වය දී සන්ධානයක් හරහා රටේ බලය ඉතා දීර්ඝ කාලයක් හොබවන එකක් බවට පත් කළා ය.  එය මහින්ද රාජපක්ෂ තවත් ඉදිරියට ගෙන ගිය අතර, ඒ ශ්‍රිලනිප ස්වර්ණම සමය ලෙස නම් කළත් වරදක් නැත. 

ජවිපෙ මැදිහත්වී සිදු කරන්නට ගිය ශ්‍රිලනිප ගමනක අවසානය එසේ සිදු නොවී ඔවුන් අතින්ම වෙන්න යනවාදෝයි පෙනී යන්නේ වර්තමානයේ මතු වෙමින් පවතින සිද්ධීන් නිරීක්ෂණය කරන විටය.

එහෙත් කළත් හොම්බෙන් ගොස් සිටි ශ්‍රිලනිප කෙලින් කටින් සිටුවා දිනන අශ්වයකු බවට පත් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවතත් ඇතිවෙමින් තිබෙන සන්දර්භයට මැදිහත්වී සිටීම ශ්‍රිලනිප පාක්ෂිකයා තුල මෙන්ම ශ්‍රිලනිපය තිඹිරිගෙය කරගත් පොහොට්ටු පාක්ෂිකයන් තුළ ද, නැවත වතාවක් යම් බලාපොරොත්තුවක් දල්වනු නොඅනුමානය.
එමෙන්ම මෙහිදී කවුරුත් දෑස් දල්වා බලා සිටිනු ඇත්තේ  “අත”    අතිනත ගන්නා ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන වගය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *