දූෂිතයන් එක්ක සජබ සන්ධානගත නොවේමැයි හර්ෂ කී දේ ගොඩහේවාට අදාළ නැද්ද..?

දූෂිතයන් එක්ක සජබ සන්ධානගත නොවේමැයි හර්ෂ කී දේ ගොඩහේවාට අදාළ නැද්ද..?

රටේ අවශ්‍යතාව ආර්ථික විප්ලවයක් බවත්, සමගි ජන බලවේගය බිහි කරන නව සන්ධානයට දූෂණ, වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් එකතු කර ගන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය.

“අපිත් සමඟ එකතු වෙනවා නම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන. අපි සතුව ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළට එකඟ වෙන්න ඕන. අපි හදන සන්ධානය විවෘතයි. හොරු නෙවෙයි නම් අපේ සන්ධානයට අපි එකතු කරගන්නවා.

හැම දේශපාලන පක්ෂයකම අඩු වැඩි වශයෙන් හොරු ඉන්නවා. හොරු අල්ලන්න දේශපාලන පක්ෂවලට බෑ. දේශපාලන පක්ෂවලට පුළුවන් අවශ්‍ය නීති සම්පාදනය කරලා ස්වාධීන කණ්ඩායමකට බලය ලබා දෙන්න. දේශපාලනඥයන් කවදාවත් හොරු අල්ලන්නේ නෑ. හොරු අල්ලන්නෙ ස්වාධීන බලය තිබෙන ආයතනයකට අවශ්‍ය පහසුකම් ලබා දුන්නොත් විතරයි.”

යනුවෙන් හර්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

බැලූ බැල්මට ම හර්ෂ දක්වා ඇත්තේ වැදගත් අදහසකි. ක්‍රියාත්මක කළ යුතු ම අදහසකි. නමුත් හර්ෂගේ කතාව සහ සජබයේ ක්‍රියාව අතර පරස්පරයක් ඇති බව පෙනේ. එක් නිදසුනක් ගනිමු. නාලක ගොඩහේවා සමගි ජන බලවේග සන්ධානයේ මහලේකම් ධුරයට පත් කිරීමට නියමිත බව අපි මින් පෙර අනාවරණය කළෙමු. ගොඩහේවාට මහලේකම් තනතුර දෙනවාට එරෙහිව සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ම මේ වන විටත්, දැඩි විරෝධයක් පල වී ඇති බව ද, අපි වාර්තා කළෙමු.

නාලක ගොඩහේවා යනු ‘කුමක්ද?’ ගොඩහේවාගේ දූෂිත වරුන අපි යළි මතක් කරගනිමු.

නාලක ගොඩහේවා ලාංකික දේශපාලනය තුල පළමුව මුණ ගැසෙන්නේ රාජපක්ෂ පාලනයේ අංකුර නිලධාරියකු ලෙසටය. එදා ඔහු පෙනී සිටියේ ගෝඨාභයගේ එක් අගසව්වකු ලෙසටය.

එසේ අංකුර නිලධාරියකු ලෙස ගොඩහේවා පළමුව සේවය කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙසටය. එම සමාගම තුළ සිදු කරන ලද දුෂණ කටයුතු ඔප්පුවීම නිසා ගොඩහේවාට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම බල කොට සිටියේය.

ඉන් පසුව ගෝඨාබයගේ මෙහෙයවීමෙන් ගොඩහේවා කොටස් වෙළෙදපොළ කොමිසමෙහි සභාපති ලෙස පත් කරන්නට යෙදුනු අතර, එවකට කොටස් වෙළෙඳපොළ තුල සිදුවු දුෂිත ගනුදෙනු සියල්ල සිදු කෙරුනේ ගොඩහේවා සභාපතිගේ මෙහෙයවීම තුළිනි. ගොඩහේවාගේ අපරාධ සහායකයා වුයේ ගෝඨාගේ තවත් අගසව්වකු වු දිලිත් ජයවීරය. ගොඩහේවා සිදු කල එක් දුෂණයකට එරෙහිව යහපාලන සමයෙහි අපරාධ චෝදනා මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබූ අතර, ගෝඨා ජනාධිපති විසින් නීතිපති හරහා සාක්ෂි නොමැති බව දක්වමින් ගොඩහේවා නිදොස් කරගත්තේය. අද ගොඩහේවා කියන්නේ තමන්ගේ නිර්දෝෂීත්වය අධිකරණය ඉදිරියේ ඔප්පුවී ඇති බැවින් තමන් සුදනකු වන බවය.

නමුත් එදා තමන් බේරා ගත්තේ ගෝඨාබය බව ද, අමතක කරමින් තමන් මහා රාජපක්ෂ විරෝධියකු බවට සමාජය ඉදිරියේ පෙනී සිටී.

2017 දී ගොඩහේවා දිලිත් ජයවීරට අයත් Citrus හෝටලයට අනුබද්ධ වස්කඩුව හෝටල් සමාගමේ 16 වැනි විශාලම කොටස් හිමියා ලෙස කටයුතු කළේය.

එසේම ගොඩහේවා Colombo Land and Development කොම්පැනියේ 7වන විශාලම කොටස් හිමියා වූයේ ය.
ගොඩහේවා දිලිත් ජයවීරට හා වරුණි අමුණුගමට අයත් දිවැස ෆිනෑන්ස් සමාගමෙහි සභාපති ලෙස කටයුතු කළේය.
තමන් කොටස් වෙළෙඳපොළ කොමිසමෙහි සභාපතිව සිටිමින් ඉහත දැක්වු ලැදියාවන්ගේ පරස්පරතාවයන් නොතකමින් දිලිත් ජයවීර සමඟ වංක සහයෝගයෙන් ක්‍රියාකරමින් කොටස් වෙළෙඳපොළ තුළ අදාළ සමාගම්වල කොටස් මිල කෘත්‍රිම ව ඉහළ නංවා කෝටි ගණන් මුදල් උපයාගෙන අවසානයේ දී එවායේ කොටස් මිල පහලට කඩා වැටෙන්නට ඉඩ හැරියේය. (Pump & Dump of stocks) මේ නිසා කොටස් වෙළෙඳපොළ තුළ බංකොළොත් වූ අහිංසක පුරවැසියන් ප්‍රමාණය අපමණය.

මොවුන්ගේ මෙම කෙරුවාවන් පිළිබඳ මහ බැංකු වංචාවට අදාළ ව සිදු කළ වෝහාරික විඝණන වාර්ථාවෙහි ද දැක්වෙන්නේය. එදා ඔවුන් තමන්ගේ සමාගම්වල කොටස් මිල ඉහළ දමා ගැනීමට භාවිතා කරන ලද්දේ EPF මුදල් වන අතර, ඒ සඳහා අනගි සහාය එවකට මහ බැංකු අධිපති කබ්රාල් වෙතින් ලැබිණ.

ගොඩහේවා යනු කුප්‍රකට තැරැව්කරුවෙක්ද වන්නේය. නාමල් රාජපක්ෂ ඇටවූ ක්‍රිෂ් ව්‍යාපෘතියේ අතරමැදි තැරැව්කරුවා ලෙස ක්‍රියා කරන ලද්දේද ගොඩහේවා ය. ගොඩහේවා සහ නාමල්ලා තම ජාම බේරා ගත්ත ද අද කොටුවේ අත්හැර දමා පවතින ක්‍රිෂ් ටවරය අපට පෙන්වා දෙන්නේ ජාතියේ මහා කොල්ලකරුවන් පිළිබඳ සිහිවටනයි.

එසේම ලංකා හොස්පිටල් සමාගමේ ආන්දෝලනාත්මක 29% කොටස් විකිණීමට අදාළ තැරැව්කරු ලෙස ක්‍රියා කර ඇත්තේ ද ගොඩහේවා ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ වන්දිය අඩුකර ගැනීමට ගිනිගත් නැව මහ මුහුදට ඇදගෙන යාමට දරදිය ඇද්දේ ගොඩහේවා ය. නැවෙන් සිදුවන පරිසර විනාශය අවතක්සේරු කරමින් ගොඩහේවා මාධ්‍යයට පවසා තිබුනේ මිය ගිය කැස්බැවන් ගොඩගසන්නේ එම සතුන් ස්වාභාවිකව මිය යෑම හේතු කොට ගෙන බවය. ඒ එදා සිදුවු මහා විපත අවතක්සේරු කරන්නටය.

ගොඩහේවාට එරෙහිව නඩු පවරා අවසානයේ ගෝඨාගේ පිහිටෙන් නිදහස් වුයේ තමන් කොටස් වෙළෙඳපොළ කොමිසමෙහි සභාපති වරයා ලෙස ක්‍රියා කරමින් නාමල් රාජපක්ෂගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයට කොටස් වෙළෙඳපොළ තුළ තරුණ සහභාගීත්වය ඉහල නැංවීම සඳහා වන දැනුවත් කිරීමේ වැඩසටහනකට කොමිසමේ මුදල් කෝටි ගණනක් ලබා දීමේ හේතුවෙනි.

විදුලි සංදේශ කොමිසමේ සභාපති වරයා එම කොමිසමේ මුදල් සිල් රෙදි ලබා දීම සඳහා දඬුවම් ලැබුන ද, ගොඩහේවාට තම කොමිසමේ මුදල් ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයට ලබා දීම නිසා දඬුවමක් නොලැබුනේය.

එනයින්, නාලක ගොඩහේවා යනු රාජපක්ෂ චෞර වළල්ලේ ම දූෂිත දේශපාලකයෙකු වන අතර, රාජපක්ෂලාට විරුද්ධ වන්නේ ය යන්න පෙන්වමින් අද ඔහු මහා දූෂණ විරෝධියෙකු වී තිබේ.

හර්ෂ ද සිල්වා කී ලෙස ම සමගි ජන බලවේගය දූෂිතයන් හා සන්ධානගත නොවන්නේ මය යන්න ඇත්තක් නම්, නාලක ගොඩහේවා වැන්නෙකුට ඉහළ තනතුරක් ලබා දෙනවා තබා, සන්ධානයක් පැත්ත පළාතේවත්, වද්දාගන්නේ නැත.

හර්ෂට උවමනාව තිබ්බාට සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හර්ෂලාට උවමනා හැටියට නොවේ. කොටින්ම ජලනි ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකාට ඕන විදියටය. සජිත් ප්‍රේමදාස හැසිරෙන්නේ ද, ඒ දෙපළ කියන හැටියටය. සජිත්ටත් ඕනෑ කෙසේ හෝ ජනාධිපති වීමටය. ඒ වෙනුවෙන්, නාලක ගොඩහේවා නම් හොරා මතු ද, නොව හොරාගේ පියා වන මහින්ද රාජපක්ෂ සමග වුව සන්ධානගත වන්නට සජිත් පැකිලෙන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *