නාමල්ට තාම ඇපත් නෑ. නාමල්ට දීම ගැන පවුල අභ්‍යන්තරයම වියවුලක..

නාමල්ට තාම ඇපත් නෑ. නාමල්ට දීම ගැන පවුල අභ්‍යන්තරයම වියවුලක..

කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වීමත් සමග රාජපක්ෂලා ලහි ලහියේ මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ අභිෂේක ගන්වන්නට කටයුතු කළහ. මීළඟ ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂට අත්වන්නේ අන්ත පරාජයක් බව දැන දැනම ඔවුන් මේ සූදානම් වන්නේ මීළඟ නායකත්වය සඳහා නාමල් රාජපක්ෂ සූදානම් කරන්නට ය. සත්‍ය වශයෙන් ම කිවහොත් මෙහි රාජපක්ෂලා යන්නට මහින්දගේ අයියා වන චමල් රාජපක්ෂ අයත් වන්නේ නැත. ඔහු කියා තිබුණේ මෙවර පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකොට රනිල් වික්‍රමසිංහට සහාය දීමට පොහොට්ටුව කටයුතු කළ යුතු බවකි. එහෙත් අනෙක් රාජපක්ෂලාගේ බලලෝභී හඬ ඉදිරියේ සුපුරුදු පරිදි නිහඬ වන්නට චමල්ට සිදු විය. නිහඬ වූ චමල් රනිල්ට සහාය පල කරන්නට ද සූදානමින් සිටි බව කියැවේ. කෙසේවෙතත්, රාජපක්ෂ පවුලේ බලවන්තයා වූ මහින්දගේ සැමදා පවතින හීනය වූයේ නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරන්නට ය. නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික සංවිධායකයා වන්නේ ද, ගමන් මගේ එක් පියවරයක් වශයෙනි. ජාතික සංවිධායකයා වශයෙන් පක්ෂය ක්‍රම ක්‍රම‍යෙන් ප්‍රතිසංවිධානය කරන්නට නාමල්ට හොඳ හැටි කාලය තිබේ. ඊට අලගු තබමින් රාජපක්ෂලා බලාපොරොත්තු වූ පරිදි ම පොහොට්ටුවේ වැදගත් තරුණ නායකයන් ලෙස සැලකිය හැකි වෛද්‍ය රමේෂ් පතිරණ වැන්නවුන් ද, යමක් කළ හැකි තරුණයන් වන කංචන විජේසේකර වැන්නන්ද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ද, රනිල් ළඟට ‘පලවා හරින්නට’ රාජපක්ෂලා සමත් විය. රාජපක්ෂලාට එක් දෙයක් වැරදුණි. මෙවර ජනාධිපතිවරණ පරාජය ධම්මික පෙරේරා පිට පටවා නාමල්‍ට ප්‍රෙෂ් පිට පටන් ගන්නට තිබූ බලාපොරොත්තුව අහිමි වීම ඒ වැරදුනු කුරුමානමයි.

ධම්මික පෙරේරා හදිසියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් පල්ලම් බැසීම රාජපක්ෂලා බලාපොරොත්තු නොවූ තත්ත්වයකි. නමුත් එය හදිසියේ සිදු වූවක් නොවේ. එහෙත් නාමල් රාජපක්ෂ අභිෂේක ගැන්වීම කල් තියා සැලසුම් කළ දෙයක් නොවේ. රාජපක්ෂලාගේ බලාපොරොත්තුව වූයේ නාමල්ට තව හැදෙන්නට, ගමින් ගමට යන්නට, බලමුළු සේනා තර කරන්නට කල් ‍රැගෙන ඊළඟ ජනාධිපතිවරණයට සූදානම් කරන්නටය. එනම්, නාමල්ගේ කෙටිකාලීන බලාපොරොත්තුව වූයේ මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ය. එසේවුවත්, නාමල් රාජපක්ෂට මෙවර ම ජනපති සටනට සූදානම් වන්නට සිදු විය. කෙසේවෙතත්, වෙන කවරදාටත් වඩා පොහොට්ටු ජනපති සටන ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබේ. නාමල්ට ගම් මට්ටම සංවිධානය කරන්නට ද වේලාව මදි ය. සියලුම ප්‍රාදේශීය ප්‍රබලයන් රනිල් වික්‍රමසිංහ ළඟ ය. රාජ්‍ය ඇමැතිලා කිහිපදෙනෙක් පමණක් නාමල් සතුව සිටී. ඒ ඇල්මැරුණු පොහොට්ටු ජනපති සටන සඳහා තවමත් නාමල් රාජපක්ෂ ඇප තැන්පත් කොට පවා නොමැත.

ඊට හේතුව රාජපක්ෂලාට ඉතිරි වූ කිහිපදෙනා ධෛර්‍යය සම්පන්න නොවීමටත් වඩා, රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේ පවතින මතබේදාත්මක තත්ත්වය බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙතෙක් නිහඬව සිටි චමල් රාජපක්ෂ, නාමල්ගේ ආගමනයත් සමග නැවත හඬ අවදි කොට තිබේ. චමල්ට ද තරුණ පුතෙක් සිටී, ඒ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ය. වරක් ඌව මහ ඇමැති ධුරය ද දැරූ ශෂීන්ද්‍ර, ශ්‍ර්‍රී ලංකා දේශපාලනයේ ඉහළ තැනකට ගෙන ඒමේ ආශාවක් චමල් රාජපක්ෂ සතුව ද පවතී. ශෂීන්ද සහ නාමල් අතර පවුල අභ්‍යන්තරයේ පවතින සීතල යුද්ධය මධ්‍යයේ කාගේ පැත්ත ගන්නද යන ප්‍රශ්නාර්ථය පවුලේ සාමාජිකයන් අතර පැවතීම සාමාන්‍ය දෙයකි. නාමල්ගේ ජනාධිපති සටන ඇල්මැරීමටත්, ඇප තැන්පත් කිරීමට පවා මෙතරම් ප්‍රමාද වීමටත් මෙම වියවුල හේතු වී ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *