නාරම්මල පොලිස් අපරාදයෙන් අවසන් නොවන්නේ උන් යාලුවන් නිසා ද?

නාරම්මල පොලිස් අපරාදයෙන් අවසන් නොවන්නේ උන් යාලුවන් නිසා ද?

අද උදෑසන පුවත නම් නාරම්මල පොලිසිය අහිංසකයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවය. පොලිසිය බල්ලො බලල්ලු මරන්න වගේ මිනිස්සු මරන්න පටන්ගෙන ඇති බව අප කියන්නේ අද ඊයෙක නොවේ.

ජොන්ස්ටන් හෝ ලන්සා හෝ ඒවගේ ඇමතියෙක් පොලිස් ඇමතිකම දැරුවානම් ජවිපෙත්, සජබත්, විමල් ගෙ පක්ෂය, ගම්මන්පිලගෙ පක්ෂය, ඩලස්ගෙ පක්ෂය, නිදහස් පක්ෂය වගේම තවත් බොහෝ අය පාර්ලිමේන්‍තුවේදී පස්ස පොලවෙ ගහගෙන ය. රූපවාහීනී ප්‍රවෘත්ති වෙනුවෙන් ප්‍රවෘත්ති සාකච්චා අදහස් දැක්වීම ඉවරයක් නැත.

රාජගිරිය පොලිසියේ පහරදීමෙන් මියගිය කාන්තාවගේ සිද්දිය පොලිස් ඇමතිට ගෑවුනු එකකි. වැලිගමදී හෝටලයකට වෙඩි තබන්න ගොස් පොලීසිය පොලීසියෙන් වෙඩිකා සාජන් වරයකු මිය යාම පොලිස් ඇමතිට ඇගේ ගෑවෙන සිද්දීයකි. තවත් කොතෙකුත් ඇත.

මෙහෙම ඒවා ගැන පොලිසිය ද දනියි. මේ අපරාධ ගැන ආන්ඩුවේ පාර්ශවයක් හෝ විපක්ෂයේ කණ්ඩායම් හෝ සද්ද බද්ද නැති නිසා පොලිසිය අපරාධ කිරීමට බය නැතිවී ඇත.

මේ දිනවල ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුම නම් මෙගා නාට්‍ය තුල ඇති නොගැලපෙන දෙබස් හා චරිත ගැන විපක්ෂයේ කිසිම පක්ෂයක් හාහුවක් නැත. මේ පොලිස් ඇමතිවරයා හැර වෙනත් අයෙකු සිටියේ වී නම් යුක්තිය ලත් තැනම ලොප්පි හමාරය.

වර්තමාන වැඩ බලන පොලිස්පතිවරයා සහ පොලිස් ඇමතිවරයා යන ජෝඩුව නියම රයිගමය හා ගම්පොළයාය. ඔවුන් යුක්තියේ මෙහෙයුම නම් නාටකය ඉස්සරහට දාගන්නේ තමන්ට එරෙහි විරෝධතා එන්නට පෙර ඊට වැටක් ගහගන්නටය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ මුල් සමයේ සහ යුද ජයග්‍රහණයෙන් පසු කෙටි කාලයක් තුළ හොර හරක් ලොරි වලත් මහින්දගේ පින්තූරය තිබිණ. මේ යුක්තියත් හරියට ඒ වගේ ය. පොලිස් ඇමතිවරයා පහුගියදා කියා සිටියේ තමාට මරණ තර්ජන ඇති බවය. මීට පෙර මට මරණ තර්ජනයක් ඇතැයි පොලිස් ඇමතිවරයා කිව්වේය. ඊට පස්සේ යුක්තිය ආවේ ය. ත්‍රස්ත මර්දන පනත එන්න ඔන්න මෙන්න තිබියදී පොලිස් ඇමති ආයෙත් තමන්ට මරණ තර්ජන ඇතැයි කියනකොට ඉතින් ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නයි දන්නා අපට බයක් ඇතිවේ.

මේ යන විදියට තව ටික දවසකින් පොලිස් ඇමතිවරයා වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති වූ විදියටම ජනාධිපති වුණත් අපි පුදුම වෙන්න ඕනේ නැත. මක් නිසාද යත් අද ඔහුට එරෙහි විපක්ෂයක් නැති නිසාය. පොලිස් ඇමතිට විරුද්ධව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල විශ්වාස භංගයක් ගෙනාවේය. ඔහු ආණ්ඩුවෙන් කැඩී ගිය අයෙකි. මේ විශ්වාස භංගයට වුනේ මොකක්දැයි අද වෙනකම් කිසිවෙක් දන්නේ නැත. මෙහෙම වෙන්නේ පක්ෂ විපක්ෂ පක්ෂ හා පුද්ගලයෝ පොලිස් ඇමතිගේ අතේ ඉන්නා විටය. ඒක අපූරූ හැකියවකැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන. ඒත් අපිට නම් හැගෙන්නේ මේක විශාල අනතුරක් බවය.

අපට පොලිස් ඇමතිවරයා ගැන තරහක් වෛරයක් නැත. ඒත් ඔහු මහා පරිමාණ බැංකු ණය පැහැර හැරි අයගෙන් කෙනෙකි. ලංකා බැංකුවෙන් ගත් රුපියල් බිලියන 3.8 ක ණය පැහැර හැරීම ඔහුට ඇති චෝදනාවකි. පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුවට හා සිවිල් ක්‍රියාකාරී නාමල් රාජපක්ෂට අනුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග වර්ජින් අයිලන්ඩ් වල මුදල් ආයෝජනය කර ඇත. මීට පෙර ඔහු කල පාපෝච්චාරණය අනුව ශ්‍රීපති සමහ එමිල්කාන්තන් හරහා 2005 ජනාධිපතිවරනයේදී උතුරේ ජන්ද වර්ජනය කරවන්න කොටි සංවිධානයට මුදල් දුන් අයෙකි. එවන් පුද්ගලයකු විසින් යහපත් චේතනාවෙන් යුක්තියේ මෙහෙයුමක් කරන්නේ යැයි සිතන්නට කරුනු මට නැත. එවන්නකු ගේන සමාජ මාධ්‍ය මර්දන පනත පරදීවී දැයි සැක සහිතය.

පෙරේදා දිනයේ (17) ජපුර සිසුන් 300 ට පොලිසිය 3000 ක් දාගෙන පැය 03 ක් කඳුළු ගෑස් ගසමින් කළ නාස්තියත් මර්දනයත් සජබ හෝ ජවිපෙ/ ජාජබ දැක්කෙ නැත. මේ මර්දනය තමන් ළඟට ආ දවසට තමන්ට වෙන්නේත් මේකම බව තේරෙන්නෙ නැතිකම නොව ඇත්තේ ඩීල් ය. සජබ, හෝ ජාජබ හෝ කුමන ආණ්ඩුව ආවත් පොලිස් ඇමති තමන් බව පොලිස් ඇමති දනියි.

අපි කළුගල්වලට ඔලුවෙන් ගහන්නේ කළුගල හයිය බව දැනගෙනය. අපිට ඇති හයිය විපක්ෂයේ රූකඩ නායකයින්ට නැතිවීමේ අහිතකර ප්‍රතිඵල රටින් පිට රටේ පොලිසිය හා නීතීය ක්‍රියාත්මක වීම ගැන සභාවන් තුල සාකච්ඡා වන දාට ආණ්ඩුව මෙන්ම ඩීල් දාන විපක්ෂ ද ඒවාට වගකිව යුතුය. අපේ අධිෂ්ඨානය හා චේතනාව කළුගලට වඩා හයිය ය. කුඩු කාරයින්ගෙ හා පාතාලයින්ගෙ හතුරා බව පෙන්වමින් තව දුරටත් රට බංකොලොත් කරන ජාවාරම් කාරයින්ට අපි බය නැත. උන් ඇත්තට කුඩු අල්ලනවා නම් කරන ක්‍රමය ඕක නොවන බව කියන්න පන ඇති විපක්ෂයක් හිටියා නම්.

රංජන් කිව්ව එකක් ඇත්තය. උන් යාලුවො මල්ලි. සත්‍ය කවදා හෝ ජයගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *