ප්‍රබල දේශපාලන සන්ධානයක් ළඟ ළඟම එයි

ප්‍රබල දේශපාලන සන්ධානයක් ළඟ ළඟම එයි

එළැඹෙන ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ඉලක්ක කරගෙන යළිත් සංවිධානය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත්වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන් ම, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩ නගන ලද ‘බුලත් කොළය’ සළකුණ ශ්‍රී ලාංකේය දේශපාලනයේ කා අතරත් මතකයේ රැඳී තිබෙන ප්‍රබලතම දේශපාලන සළකුණක් වන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිපවතාවක් ම රටේ බලය ලබාගෙන ඇත්තේ ජනාධිපතිවරුන් දෙදෙනෙකු බිහි කරමිනි. ප්‍රගතිශීලී දේශපාලනයේ ලකුණක් ලෙස බුලත් කොළය ජනතා මතකයේ රැඳී තිබීම මෙම සන්ධානය යළි පණ ගැන්වීම සඳහා හේතු වූ ප්‍රබල කරුණක් වී ඇති බව ද සඳහන් වේ.

අනුර ප්‍රියදර්ශන යාපා මෙම අලුත් සන්ධානයේ මහලේකම් තනතුරට පත් කිරීම සඳහා මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන හිටපු මහලේකම්වරුන්ගේ ද විරෝධතාවක් පල නොවීම විශේෂත්වයකි. එමෙන්ම ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ දී මෙම සන්ධානය නායකත්ව මණ්ඩලයක් යටතේ තීරණ ගැනීමට එකඟ වී තිබීම ද සැලකිය යුතු ධනාත්මක ප්‍රවනතාවක් බවට පත්ව තිබේ.

නිදහස් සන්ධානයේ ප්‍රමුඛතම හවුල්කරු වන මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡා සාර්ථක වී ඇති බව ද වාර්තා වේ. විශේෂයෙන් ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහ මෛත්‍රී අතර පවතින නොහොඳ නෝක්කාඩු ස්වභාවය ද මේ වන විට පහ ව ගොස් තිබෙන බව මෑත දිනයක පැවැති බණ්ඩාරනායක සමරුවට ද එක්ව සහභාගී වීමෙන් පෙනී යයි.

අනුර ප්‍රියදර්ශන යාපා මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය නිමල් ලංසා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවනු ලැබූ සන්ධානයේ ජාතික නායකයා වශයෙන් කටයුතු කරනු ලබන අතර, එළැඹෙන මැතිවරණය සඳහා මෙම කණ්ඩායමත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ව තරඟ කරන බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ප්‍රකාශ කර ඇත.

මෙම සන්ධානය ගොඩනැගීමේ ක්‍රියාවලියේ නිරත ව ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වන අතර ශ්‍රිලනිපයේ වගකිව යුතු බලයක් සහිත තනතුරක් ඇය වෙනුවෙන් මේ වනවිට සකස් වී ඇති බවද වාර්තා වේ.

ඉදිරි මාර්තු මාසයේ මුල් සතිය වනවිට සන්ධානය ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පිළිබඳව රටට හෙළිදරව් කරන බවත්, දැනට තරඟ කරන සියළුම අපේක්ෂකයින් ඉක්මවිය හැකි දේශපාලන දැක්මක් හා ආර්ථික සැලැස්මක් සහිත පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් කෙරෙන බවත් ඊට අදාළ සාකච්ඡා මේ වනවිට සිදු කර අවසන් බවත් එම පාර්ශ්වයේ ආරංචි මාර්ග කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *