පාලිත – ආරියරත්න ජනකාන්ත දේශපාලනය – බෙදුම් දේශපාලනය සහ සජිත්

පාලිත – ආරියරත්න ජනකාන්ත දේශපාලනය – බෙදුම් දේශපාලනය සහ සජිත්

පාලිත තෙවරප්පෙරුම දිවි මගෙන් සමුගෙන ඇත. ඔහු මැරෙන බව දැන දේශපාලනය කළ අයෙකි. වසර 10 ට වැඩි කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළත් නියෝජ්‍ය ඇමතිකම් කළත්, ඔහු හොරෙක් යැයි කිසිවෙකු කීවේ නැත.

පාලිත කළේ ජන මූල දේශපාලනයයි. හැබැයි පාලිත ඒක බොක්කෙන්ම කළේය. ඔහු දේශපාලනයකුගේ කාර්යභාරයෙන් ඔබ්බට ගොස් සමාජ සේවකයකුගේ කාර්යභාරය අකුරටම කළේය. ජීවිතයේ අවසාන කාලයේ ඔහු සමාජ සේවකයකු ම විය.

ඔය පාලිතම කළුතරින් පාර්ලිමේන්තුවට 2020 ඉල්ලද්දි ඔහුට මනාප 3000 ක් ලැබෙන්නෙ නැත. ඒ කොවිඩ් 19 අස්සෙ මාස්ක් එකක්වත් නැතුව කොස් බනිස් බෙදමින් ගිහිල්ලා ය. පාසලට ඒ ගමක ළමයි නොගත්තාම ආණ්ඩුවේ ඉදන් ඉස්කෝල ළඟ උපවාස කරලා ය. ඔය සෑම ක්‍රියාවකින්ම ජනයා ආස්වාදයක් ගනියි. ජන්දය වෙනම එකකි. ඔය බොහෝමයක් පාලිතට කැමති සරම ගහගෙන, කමීසය නැතුව, පොඩි මිනිහෙක් සේ හැසිරෙන නිසාය.. පාලිත එක්කම ගිය ඒ.ටී. ආරියරත්න ද දුප්පත්කම නැති කරන්න සර්වෝදය හරහා යමක් කළ අයෙකි. ඒ.ටී.ට පක්ෂ දේශපාලනයක් තිබුනේ නැත. හැබැයි ඒ.ටී.ගෙ මරණය ගැන පාලිතගෙ මරණය තරම් සමාජ කතා බහක් තිබුණේ ද නැත.

මේ දෙපළ ගැනම මට ගෞරවයක් ඇති අතර, දෙපළටම ඔවුන් විසින් කළ කුසල් බලවත්ව නිවන් දක්නා තෙක් යහපත් භවයන් ලැබෙන්නට පතමි.

පාලිතගේ දේශපාලනය මා දකිනුයේ ජනකාන්ත දේශපාලනය ලෙසයි. වර්තමානයේ පාර්ලිමේන්තුවට පාලිතගේ භූමිකාව ඉක්මවා ගිය ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ භූමිකාවක් අවශ්‍ය වුවත් සමාජයේ බහුතරයට තවම එය වැටහී නැත. පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදක කාර්ය ඇතුළු ගෞරවනීය හැසිරීමක් පෙන්නුම් කළ ලක්ෂ්මන් කදිර්ගාමර් වැන්නවුන් ගැන ජනතාවගෙන් එතරම් ශෝක ප්‍රකාශ නොලියවුනේ එවක සමාජ ජාලා බලවත් නොවූ නිසා යයි සිතමි.

ඒ.ටී. ආරියරත්නගේ කාර්යය ඉන් එහාට ගෙනියන්නට මහජන නියෝජිත හෝ ඒ අපේක්ෂාවෙන් දේශපාලනය නොකරන සමාජ සේවකයන් බිහි වෙන්නට වුවමනාය. ඒ තුළ බොරුවට අටවාගත් පදනම් තුළින් කෙරෙන දේශපාලනය අජූත කල බෙදුම් දේශපාලනය අවසන් වනු ඇත. එම බෙදුම් දේශපාලනය ද පුස්සකි. සජිත් ප්‍රේමදාස තරම් ලංකාවෙ බෙදපු මිනිහෙක් මා දැක නැත. හම්බන්තොට සජිත්ගෙ ජනසුවය පෙර පාසලක් නැති, ප්‍රේමදාස ගුණානුස්මරණ ශාලාවක් , සසුනට අරුණ ලද පන්සලක් නැති ගමක් සෙවීම අපහසුය. සජිත්ගේ ජනසුවය ණය, 94 ඉඳන් දුන් ටිකිරි ගිණුම, හදා දුන් ගෙවල්, මළ ගෙවල් වලට මුදල් දී ඇති ප්‍රමාණය බැලූ විට සජිත් මැතිවරණ කාලයේ හම්බන්තොට ඉන්න ඕනා නැතැයි කෙනෙක්ට සිතෙන්නට පුලුවණ. ඒත් 2019 ජනාධිපතිවරණයේ දී අච්චර බෙදපු සජිත් අමෙරිකාවෙ ඉදන් ආපු හම්බන්තොට ට අබමල් රොණක දෙයක් නොබෙදූ ගෝටාට වඩා ලක්ෂ ගානකින් අර බෙදපු හම්බන්තොටින් පැරදිනි. ඒ අනුව බෙදුම් දේශපාලනය ලංකාවට තවදුරටත් වලංගු නැති බව එයින් පෙනුණි. අච්චර බෙදන විපක්ෂ නායකයෙක් ඉඳිද්දී සතයක දෙයක් නොබෙදන අනුරලාගෙ මාලිමාව වටේ මිනිස්සු කැරකෙන්නේ රටට ප්‍රතිපත්ති පාදක දේශපාලනයක් අවශ්‍ය බව කියමින් ය.

ඒක නොවැටහී දැනටත් සජිත් බෙදිල්ල නවත්තලා නැත. පරණ නම් ටික වෙනුවට හුස්ම, සක්වල ආදී නම් වලින් එන්නේ ඒවා ය. ප්‍රතිපත්ති සම්පාදනය මත පදනම් වූ දේශපාලනය සජිත්ට තවමත් දුරය. ඔහු කැබිනට් ඇමතිකම් කරපු කාලය තුළ ද එවැන්නක් පෙන්වා නැත.

මගේ කියවීම සජිත් ද දේශපාලකයකුගේ භූමිකාව ඉක්මවා ගිය සමාජ සේවකයෙක් බව ය.

අනුරලා සමාජවාදය ගරු කළත් දැන් හරිනිලා එක්ක එක්වී කියන්නේ අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ය කියාය. සජිත් ද ඊට හයියෙන් එය කිව්වත් කිසිවෙක් අහන බවක් නොපෙනේ.

සජිත් ට කවුරුන් හො මැස්ලොගෙ හයිරාකි නීඩ් පිරමීඩය පෙන්වා අවබෝධ කර දුන්නා නම් දේශපාලනය වෙනුවෙන් බෙදිල්ල අවසන් කර ප්‍රතිපත්ති පාදක දේශපාලනයක යෙදෙන්නට තිබුණි. දැන් සජිත් ඒක කරන්න ප්‍රමාද වැඩිය. ඒක කරන්න ගියොත් ඒ දන්ඩෙ ගියාට නොදෙවෙනි වනු ඇත.

එහෙම බැලුවොත් සජිත්ට විකල්ප දෙකකි. එකක් ඒ.ටි.ආරියරත්නගේ භූමීකාව ඊට වඩා හොදින් කර සමාජ සේවකයකු ලෙස ඉතිහාසගත වීමය. ඒක කරන්න අනෙක් කවුරු ඉඩ දුන්නත් ජලනි ආර්යාව සහ මිත්‍ර ලක්ෂ්මන් ෆොන්සේකා ඉඩ දෙන්නෙ නැත.

දෙවැන්න ප්‍රේමදාස ජේ.ආර්.ගෙ දෙවෙනියා වුනා වගේ දුර දක්නා නායකයෙක් ගේ දෙවෙනියා වීමය. ජේ.ආර්.ට නොතිබූ බිම හදාදීමෙන් ප්‍රේමදාස අගමැති වී ජනපති ද විය. තාත්තා වරද්දගත් තැන් නිවැරදි කර ගැනීම ඔහුට භාරය.

වැඩේ තියෙන්නෙ සජිත් දෙවෙනියා වන දුර දක්නා නායකයා කවුද කියන එකය, රනිල්ගෙන් සජිත්ට චාන්ස් එකක් ලැබේද යන්න සැක සහිතය. එහෙම නම් වැඩේටත් තමන්ටත් වඩාත්ම ගැලපෙන කෙනෙක් තෝරා ගත යුතුය. ඒකට සජිත්ට මාස දෙකක් ඇත. ඒ මාස දෙකේ බෙදිල්ල නවත්වා සිහියෙන් තීන්දු ගන්න එකත්, ජලනි ලක්ෂ්මන්ට කරුණු තෝරා බේරා දීමත් සජිත් ගේ වැඩකි. මේ චාන්ස් එක මිස් කරගත්තොත් සජිත් ආරියරත්නගේ තැන ඉක්මවීම නොව අනුර බණ්ඩාරනායකගේ දෙවෙනියා වන එක වළක්වන්න කිසිවෙකුටත් බැරිය. එහෙම වුනොත් සජිත් වසර 30 ක් කල කැප කිරීම, වැයකල මුදල්.. මේ ඔක්කොම වතුරේ ය. ඒ ඔක්කොමත් හරි අර ප්‍රේමදාසගෙ පුතා කියල ආඩම්බරයෙන් කියන එක කියන්න පුලුවන්ද? සජිත් තාත්තා පහුකර යන්න නම් තාත්තා වගේම අඩියක් පස්සට ගන්න වෙලාව ඇවිත් ය. සජිත් කල්පනා කරන්න ඕන ඕවා ය.

උපුටාගැනීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *