පාස්කු විමර්ශන වාර්තා ගම්මන්පිලට ලැබුණු ආකාරය හෙළි කළ යුතුයි..!

පාස්කු විමර්ශන වාර්තා ගම්මන්පිලට ලැබුණු ආකාරය හෙළි කළ යුතුයි..!

තමන් ලඟ ඇතැයි පවසන, පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරුදහන් වූවා යැයි කියන වාර්තා වහාම දින තුනක් ඇතුළත රජයට බාරදෙන ලෙසත් එසේ තමන්ට එම වාර්තා ලැබුණු ආකාරය පිළිබඳවද හෙළි කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තමන් ලඟ ඇතැයි පවසන පාස්කු ප්‍රහාරය පිළිබඳ රහස් වාර්තාක් ගැන සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දී නකීබ් නවාස් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

මාධ්‍යවේදී නකීබ් නවාස් – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ නොකළ එස්.අයි ඉමාම් වාර්තාව සහ ඒ.එන්.ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධ කරන්න කියලා ආණ්ඩුවට දින 07ක් දෙනවා කියලා පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා. මේ පිළිබඳව, ආණ්ඩුව පාස්ක්‍ර ප්‍රහාරයේ තොරතුරු හංගන් ඉන්නවද? එහෙම නැත්නම් ඒ වාර්තාව කොහොමද පිටට ගිහිල්ලා තියෙන්නේ? ආණ්ඩුව ඇයි ප්‍රසිද්ධ නොකරන්නේ? මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය කුමක්ද ඇමති තුමාත?

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් – ආණ්ඩුවක් විදිහට අපි කටයුතු කරන්නේ වගකීම් සහගතව. ඒ අනුව ඒ පරීක්ෂණ නිවැරදි ආකාරයට අපි පවත්වාගෙන යනවා. යම් කිසි අකටයුත්තක් සිද්ධවෙලා තියෙනවානම් ඒ පිළිබඳ පරීක්ෂණය කරලා වහාම පියවර ගන්නවා. ගම්මන්පිල මහත්මයා ලඟ ඒ වාර්තාව තියෙනවානම් අපි දවස් තුනක් කල් දෙනවා පුළුවන්නම් එ් වාර්තාව අපිට ගෙනල්ලා දෙන්න. එතකොට අපිට ලේසියි. රජය සතු වාර්තා අපි නිවැරදි විදිහට නිවැරදි ක්‍රමවේදයට පරීක්ෂණයට භාජනය කරනවා. පිටු අඩුවෙලාද මොනවා වෙලාද කියන එක ඒ පරීක්ෂණවලින් පස්සේ අපි ජනතාවට සාධාරණය ඉටු කරන්න බැඳිලා ඉන්නවා. අපි ඒක කරනවා.

ගම්මන්පිල මහත්තයට ඒ වාර්තා ලැබුණනම් ඒවා වහාම දෙන්න. ලැබුණ විදිහත් හොයාගන්න ඕනේ. කොහොමද ඒවා හම්බවුනේ කියලා අපිත් දැනගන්න කැමතියි. රටේ ජනතාවත් දැනගන්න කැමතියි. මෙච්චරකල් ගම්මන්පිල මහත්තයාගාව මේ වාර්තා තියාගෙන හංගගෙන හිටියනම් ඒකත් බරපතල අපරාධයක්. ඒක නිසා වහාම, දවස් තුනක් අපි කල් දෙන්නම් මේ වාර්තා ලබා දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *