පුතාට වියදම් කරන්න ප්‍රේමදාස මහත්තයට මෙච්චර සල්ලි කොහෙන්ද?

පුතාට වියදම් කරන්න ප්‍රේමදාස මහත්තයට මෙච්චර සල්ලි කොහෙන්ද?

ප්‍රේමදාස මහත්තයා තම දේශපාලන උරුමක්කාරයාගේ හැටි මැනවින් දැන සිටියේය.

ඒ නිසාම ඔහු තම දේශපාලන උරුමක්කාරයා ඉගෙන ගන්න යැව්වේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ය. ඔහු ඉගෙනීමට සමතෙක් නොවන බව තහවුරු වෙද්දී එතනින් ගලවා එකල වාර්ෂික පාසල් ගාස්තුව පවුම් 16000 වූ එංගලන්තයේ ඩර්බිෂයර් හී මිල් හිල් නේවාසික පුද්ගලික විදුහලට ඇතුල් කළේය. ඔටුන්න හිමි කුමරාට සිංහල අමතකවේය බියෙන් අගමැති නිවසේ නිල දුරකථනයෙන් සිංහල ඉගැන්නුවේය. මේ සිංහල ගුරුවරයා එසේ මෙසේ කෙනෙක් නොව මහා සිංහලයෙකු වූ අරිසෙන් අහුබුදු ය.

‘වට්සැප්’ හෝ සමාජ මාධ්‍ය නොතිබුණු 1980 දශකයේ දී ජාත්‍යන්තර ඇමතුම්වලින් දිනපතා පැයක් සිංහල ටියුෂන් දීමේ වියදම කොතෙක් ද ඔබට සිතා ගැනීමට පුළුවනි ද? එහෙත් “ඔටුණ්න හිමි කුමාරයෙක්” තමන්ගේ මවුබස නොදැන සිටීමේ අවමානයෙන් බේරීමට, මව්බසින්  “දොඩවන්නන්ගේ” චන්ද එකතු කර ගැනීමට අත්‍යාවශ්‍ය නිසා මේ ‘සිංහල ඉගැන්වීම’ ඔබට යුක්ති සහගත කිරීමට පුළුවන. එපමණක් නොව මේ ඔටුණ්න හිමි කුමාරයාගේ පාසැලේ ගෙදර වැඩ කිරීම සඳහා එවන්ස් කුරේ එංගලන්තයට යැවීය. කුමාරයාගේ ආරක්ෂාවට ආරක්ෂකයන් දෙදෙනෙකු ද එංගලන්තයට යැවීය. ඒ ආරක්ෂකයන් දෙදෙනා එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කළ ද ඔවුන්ට තිබූ වගකීම නම් කුමරුවාට ආරක්ෂාව දීමය.

ඩර්බිෂයර් හි මිල්හිල් විදුහලෙන් එල්.එස්.සී. හෙවත් මධ්‍යම ලන්ඩනයේ පිහිටි සුප්‍රකට ලන්ඩන් අර්ථ ශාස්ත්‍රාලයේ එකල වාර්ෂික ගාස්තුව පවුම් 80000 කි. මේ සරසවියෙන් උපාධි ලැබූ ප්‍රකට ලාංකිකයෝ නම් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා මහාචාර්ය කුමාරි ජයවර්ධන වැන්නෝය. ඔවුන් එහි ගියේ මුල් උපාධියට නොව පශ්චාත් උපාධි ලබන්නට ය. එහෙත් මේ සා වියදමක් දරා ලංකාවේ එකල අගමැතිවරයා තමාගේ දේශපාලන  උරුමක්කාරයාට උපාධියක් ලබා දීමට උත්සාහ කිරීමේ වරදක් තිබේද ? ජීවිතයටම රැකියාවක් හෝ ව්‍යාපාරයක් කර නැති රණසිංහ ප්‍රේමදාසට මේ සා වියදමක් දැරීමට මුදල් ලැබුනේ කොහෙන්ද? ඒවා ජනතාවගේ මුදල් මිස අන් කිසිවක් නොවේ. 

අවාසනාවකට මේ සා රටේ ධනස්කන්ධයක් සජිත් ප්‍රේමදාස කුමරුවාට වියදම් කෙරුනාට ලැබුණු උපාධි සහතිකයක් නැත. තිබුණා නම් ඔහු නාවල විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් කරන්නට ඇතුළු වෙද්දී එය ඉදිරිපත් කරන්නේය. එහෙත් අපේ නාවල ආරංචි මාර්ග කීවේ සජිත් ප්‍රේමදාස කුමාරයා ලන්ඩන් ආර්ථික විද්‍යාලයෙන් ලැබූ උපාධි සහතිකයක් නොව, එහි ඉගෙනීම ලැබූ බවට ඇති සහතිකයක් පමණක් ඉදිරිපත් කළ බවකි. එයත් හරියටම හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රංශයේ සෝබෝන් සරසවියේ සහතිකයට සමාන එකකි…!

ඊළඟට ඔටුන්න හිමි කුමරා පශ්චාත් උපාධි ලබන්නට යන්නේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් සරසවියට ය. එහි වාර්ෂික ගාස්තුව එකල ඩොලර් 20,000 කි. කුමාරයාට මේ වියදම වාර්ෂිකව දරමින් උගන්වන්නට ගියත් ඔහුගේ පශ්චාත් උපාධි ගැනීම කඩාකප්පල් වෙන්නේ 1993 මැයි පළමුවෙනිදා පිය රජතුමා එතුමාගේ සමීපතම මිතුරෙකු “බාබු” නම් කොටි ඔත්තුකරුවාගේ මිනිස් බෝම්බයට ගොදුරු වීමෙනි. අනෙක ඔහු පියරජතුමාගේ මරණයට ඇමෙරිකාවේ සිට පැමිණි වහාම දේශපාලන ආරම්භ කරන්නේ ය. ඒ වෙන කොහෙන්වත් නොවේ හම්බන්තොටෙනි….!

මෙයින් පෙනෙන්නේ පියතුමා මියයාමට පෙර හම්බන්තොට කුල ගහනය හා එහි ඇති කුල චන්ද කුට්ටිය ගැන සජිත් කුමාරයා දැනුවත් කර තිබූ බව පමණක් නොව කුල නායකයන් ද කුඩා කාලයේ පටන්ම හඳුන්වා දුන් බව නොවේ ද? එහෙත් හම්බන්තොට මේ කුල චන්ද කුට්ටියෙන් සජිත් කුමාරයා හම්බන්තොටට යන තෙක්ම එම වංශයට පාර්ලිමේන්තුවට කෙනෙක් යවා ගන්නට බැරි වුයේ ඇයි? ඔවුන් පත්කර ගත් එකම දේශපාලන නියෝජිතයා අම්බලන්තොට සේනක නිලමේ තෙන්නකෝන් ය. එහෙත් නිලමේ මංත්‍රිතුමාට දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයෙන් එහාට යන්නට නොලැබුණි. අපි නිලමේ, පළාත් සභා මන්ත්‍රීතුමාගේ හඬට කන් දෙමු,

‘1991 අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති වෙද්දී මගේ වයස අවුරුදු 19 යි. මම තමයි ලංකාවේ පත්වුණු ලබාලාම ප්‍රාදේශීය සභාපති වරයා. හැබැයි මට කලින් දේශපාලනයේ යෙදී නායකයන් වූ හේන වංශිකයන් ඉන්නව. ඒ ජෝර්ජ් ඊ ද සිල්වා, ලංකා ජාතික සංගමයේ සභාපති තුමා. 1931 ජෝර්ජ්, රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණා. 1947 මහා මැතිවරණයෙන් යලිත් මහනුවරින් මුල්ම පාර්ලිමෙන්තුවට පත්වී කර්මාන්ත හා ධීවර ඇමතිවරයා හැටියට පත් වුණා. ජොර්ජ් ගේ පුතා ෆ්‍රෙඩ් ඊ ද සිල්වා 1954 පාර්ලිමේන්තු මංත්‍රිවරයෙක් හැටියට පත්වෙල 1956 වෙන තෙක්ම හිටිය. හැබැයි මේ පරපුර දේශපාලනයේ යෙදුනේ හේන වංශිකයෝ හැටියට නෙවෙයි. ඔවුන් දිගටම නියෝජනය කළේ මහනුවර නගරය. ඒ ප්‍රදේශයේ සිටි උගත් හා ධනවත් ප්‍රභූන් නිසයි එබඳු මහජන නියෝජනයක් ඔවුන්ට ලැබුනේ.’

‘1989 දී දෙහිවල ප්‍රනාන්දු වෙද මහත්තයා [කොණ්ඩ වෙදමහතා] ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මංත්‍රිවරයෙක් විදිහට පත් කෙරුන. නමුත් එතුමාත් හේන වංශය නියෝජනය කරපු මහජන නියෝජිතයෙක් හැටියට ගන්න අමාරුයි. මම 1993 පටන් දකුණු පලාත් සභාවේ සභානායක ධුරය, විපක්ෂ නායක ධුරය වගේ තනතුරු දරනව. දැනට හය වතාවක් පාර්ලිමේන්තු මැතිවරණවලට තරඟ කළා නමුත් හැමදාම අපේ ඡන්දවලින් තුන්වෙනි තැනට එනව. පාර්ලිමේන්තු යන්න ලැබෙන්නේ නෑ.’

‘1989 මහ භීෂනයෙත් අපේ පවුලේ මුල් පරම්පරාව දේශපාලනයේ යෙදුන. ඒ වෙලාවේ තමයි ප්‍රේමදාස මහත්තයගේ ඡන්ද කටයුතු මෙහෙයවපු මගේ තාත්ත දේශප්‍රේමී හමුදාවෙන් වෙඩි තියල මරන්නේ. ඒ කාලේ පාර්ලිමේන්තු යාමක් ගැන අපේ වංශයේ නියෝජිතයන්ට විශාල වුවමනවක් තිබුනේ නෑ. අපේ පරම්පරාවල හැමටම මාගම නින්දගම් හැටියට අක්කර දෙතුන්සීය, ලක්ෂ ගණනින් හරක් පට්ටි හිටිය. අඩුම තරමින් අපේ මිනිස්සු රිදීයගම, බඳගිරිය හා ලුනුගම්වෙහෙර ජනපද ගොවි ජනපදවල පදිංචියට ගියේවත් නෑ. නමුත් 1966 විතර අපිට තිබුණු ප්‍රධාන ගම්සභාව, වලව ගම්සභාව අහෝසි කෙරුණ. ඒ වෙනුවට, කඩමන්ඩියක් තිබුණු අම්බලන්තොට වෙනුවෙන් ප්‍රාදේශීය සභාවක් අපට දුන්න. ගජබා රජතුමාගේ යුගයේ පටන් අපට තිබුණු ගම්බිම් වල නම් වෙනස් වුනා. අපිට පුරාන වලවේ නාමය අහිමි වුනා. ඉස්සර හම්බන්තොටක් තිබුනේ නෑ. ගොඩවාය වරාය තිබුනේ. ඉස්සර තිස්සමහාරාම කියල නගරයක් තිබුනේ නෑ. පතාන කියන අපේ ජනපදය තිබුනේ. අපේ ගම්මානත් සමග ඒ ඔක්කොම වෙනස් කෙරුන.’

‘දැන් අපි කුල නියෝජනයක් සොයන්නේ ජනපදවල පදිංචියට ආපු, හේන් කොටාගෙන ඉන්න ආපු වෙනත් කුලවල උදවිය තමන්ගේ මංත්‍රිවරු පත්කරගෙන වැඩ කර ගන්නව. අපේ හේන වංශිකයෝ විතරක් කිසිම ප්‍රගතියක් සංවර්ධනයක් නැතුව ඉන්නව.’

‘මේ තත්ත්වය අපි කෙසේ හෝ වෙනස් කළ යුතුයි. අපි කුලේ ගැන නොසිතුවට අනෙක් කුල එහෙම හිතල දේශපාලනය කරනවනම් අපිට ඒක අත්හැරල දේශපාලනය කරන්න අමාරුයි.’

එහෙත් නිලමේට බැරි වූ දෙය සජිත් කුමාරයා කළේ මේ චන්ද කුට්ටියට එජාපයේ චන්ද කුටිටිය ද එකතු කිරීමෙනි. එය පුතාණෝ හා පියාණෝ කල්තියා කළ ප්‍රේමදාස පවුලේ දේශපාලන ව්‍යාපෘතියකි…!

-නන්දන වීරරත්න ලියූ සටහනක් ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *