පුස්ස බින්ද වැව් සහ හිටපු ඇමැති අනුරගේ නැව් ටෝක්..!

පුස්ස බින්ද වැව් සහ හිටපු ඇමැති අනුරගේ නැව් ටෝක්..!

ජාජබ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් යොමු කරන ලද ලිපියක් ‘කෘෂිකර්ම ඇමති ලෙස අනුර කුමාර එදා කළ මෙහෙවර‘ යන හිසින් යුතුව පසුගිය ආගෝස්තු 25 දා සිළුමිණ පුවත්පතේ පළ විය. මේ ඒ ලිපියට පිළිතුරකි.

මම ජවිපෙන් ඉවත් වීම සමරන්නේ නැහැ. ඔවුන් අපේ කරමතට බොහෝ ප්‍රශ්න එකතු කළා. කුඹුරු ගොවිතැන සහ ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳිය යුතුයි. ඔවුන් (ජවිපෙ) කියා සිටියේ ඔවුන් වැව් 10,000ක් සෑදීමට යන බව, නමුත් මෙතෙක් ඔවුන්ට හැකි වුණේ වැව් 300ක් හදන්න පමණයි. එයින් දෙකක් පමණක් නිසි ලෙස වැඩ නිම කර ඇති අතර ඉතිරි ඒවා කාන්දු වෙමින් පවතී”.

2004 ජුනි 16 වන දින මහනුවර පැවති රැලියක් අමතමින් එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කියා සිටියේ ජවිපෙ නිසා රජයට බොහෝ ගැටලු ඇති වූ බවත් ඉන් එකක් දහසක් වැව් ව්‍යාපෘතිය බවත් ය. එදා අනුර දිසානායක අමාත්‍යවරයාගේ දහසක් වැව් ව්‍යාපෘතිය පිළිබඳව චන්ද්‍රිකාගේ චරිත සහතිකය එවැන්නක් විය.

ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන්නේ තමන් දේශපාලනයේදී කිසිදු වැරැද්දක් සිදු නොකළ ශුද්ධවන්ත දේශපාලන ව්‍යාපාරයක් ලෙසය. එහෙත් එය සත්‍යයක් නොවන බවත් මෙරට තීරණාත්මක සෑම මැතිවරණයකදීම ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයක් නියෝජනය කරමින් ඒ පාර්ශ්වය ජයග්‍රහණය කරවීමටත් නියමින් හෝ අනියමින් ඒ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමටත් කටයුතු කොට ඇත.

අනූ හතරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගව බලයට ගෙන ඒම වෙනුවෙන් සිය අපේක්ෂකයාව ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කරවා ගත් ඔවුන් 2005 දී සෘජුවම මහින්ද රාජපක්ෂව ජයග්‍රහණය කරවීම පිණිස කටයුතු කළේය.

2010 දී සරත් ෆොන්සේකා ජයග්‍රහණය කරවීම උදෙසා සිය මැදිහත්වීම සිදු කළ ද එවර ජනතා විමුක්ති පෙරමුණට වැරදුණු නමුත් 2015 දී මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒම වෙනුවෙන් ඔවුන් සිය දායකත්වය ලබා දුන්හ.

තීරණාත්මක ආණ්ඩු පත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය සෘජුව හෝ වක්‍රව ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කරන්නේ තමන් වසර හැත්තෑ නවයක ශාපයේ කොටස්කරුවන් නොවන බවය.

නමුත් හරිහැටි ගත්තොත් අනූ හතරෙන් මෙහාට සෑම ජනාධිපතිවරණයකදීම පාහේ ඒ බිහිවන ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ කොටස්කරුවන් බවට පත්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ චරිතය කෙලෙසා ගෙන අවසන්ය. ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් ගම්‍ය කිරීමට උත්සාහ කරන්නේ තමන් කිසිදු අවස්ථාවක රාජ්‍ය පාලනයට දායක නොවූ බවය.

නමුත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ ආණ්ඩුව යටතේ තීරණාත්මක ඇමති ධුර රැසක්ම ඔවුහු භාර ගනු ලැබූහ.

පොදුජන එක්සත් පෙරමුණ සමඟ 2001 සැප්තැම්බර් මාසයේ දී (05 වැනිදා) ‘පරිවාස ආණ්ඩුවක් පිහිටුවා ගෙන ‘සභාග දේශපාලනය’ ගැන අලුත් අත්දැකීමක් ලබාගෙන සිටි ජවිපෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව 2004 ජනවාරි 20 වැනිදා ‘සන්ධාන ගිවිසුමකට’ අත්සන් තැබීය.

මාස කිහිපයකට පසුව පැවති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කළ අතර 13 වැනි පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය ලංකාවේ සුවිශේෂ අමාත්‍ය මණ්ඩලයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ ද ඊට එක්වීම නිසයි. ඒ අනුව ජවිපෙට කැබිනට් අමාත්‍ය ධුර 04ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 04ක් භාර ගත්තේය.

කැබිනට් අමාත්‍ය ධුර

1. අනුර කුමාර දිසානායක

– කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග

2. විජිත හේරත්

– සංස්කෘතික හා ජාතික උරුමයන්

3. කේ.ඩී. ලාල්කාන්ත

– ග්‍රාමීය ආර්ථික සංවර්ධන

4. චන්ද්‍රසේන විජේසිංහ

– ධීවර හා සාගර සම්පත්

නියෝජ්‍ය අමාත්‍ය ධුර

1. බිමල් රත්නායක

– කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග

2. සමන්ත විද්‍යාරත්න

– සංස්කෘතික හා ජාතික උරුමයන්

3. සුනිල් හඳුන්නෙත්ති

– ග්‍රාමීය ආර්ථික සංවර්ධන

4. නිහාල් ගලප්පත්ති – ධීවර හා සාගර සම්පත්

මේ සියලු අමාත්‍යාංශ ජනතා විමුක්ති පෙරමුණට භාරදූර වගකීම් එක්කළ ද එකී අමාත්‍යාංශ හතර ඔවුන්ට වඩාත් බර වැඩි වූ බව ඔවුන් විසින්ම පසු කලෙක පිළිගෙන තිබේ.

මේ සියලු අමාත්‍යාංශ අතරින් වැඩිමනක් අවධානය යොමු වූයේ අනුර කුමාර දිසානායකට හිමිවූ අමාත්‍යාංශයයි.

අනුර කුමාර දිසානායකට කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය හිමිවූ අතර සාමාන්‍යයෙන් එය මීට පෙර කිසිදු කැබිනට් අමාත්‍යවරයකුට හිමි නොවුණ තරමේ විෂය පද්ධතියකින් සමන්විත විය. එසේ තිබියදීත් මහවැලි සංවර්ධන අධිකාරිය ලබා නොදීම ගැන ජනතා විමුක්ති පෙරමුණ තුළ වූයේ මුල සිටම නොසතුටකි.

මේ මැසිවිලි මැද පවා ජනතා විමුක්ති පෙරමුණ මුල් වෙමින් අනුර දිසානායකගේ නායකත්වයෙන් යුක්තව වැව් දස දහසක ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.“ජාතියේ පුනර්ජීවනය” ඊට යෙදූ තේමාවයි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය පිළිබඳව විමසුම් ඇසින් බලන කල දක්නට ලැබෙන්නේ එකී ව්‍යාපෘතිය මොන තරම් පුස්සක් බවට පත් වූවක් ද යන්නයි.

2004 අගෝස්තු 29 වන දින යාපහුව හවන්පැලැස්ස හි දී ඉතා උත්කර්ෂවත් අන්දමින් හා පෙරහරකින් මේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. ඊට ජනතා විමුක්ති පෙරමුණට හුරුපුරුදු දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණය ද විශාල පිටුබලයක් ලබා දුන්නේය. භාණ්ඩාගාරයෙන් ලබා ගත් මිලියන 350කින් ආරම්භ කළ ව්‍යාපෘතියට පසුව තවත් අමතර රුපියල් මිලියන 50ක් ලබා දෙන ලදි. මෙම ව්‍යාපෘතියට ජාතික ඉතිරි කිරීමේ බැංකුව මිලියන 500ක් ආයෝජනය කළ කළේය.

වැව් දස දහසකට පුනර්ජීවනය ලබා දෙනවා තබා උත්කර්ෂවත් ලෙස එම ව්‍යාපෘතිය ආරම්භ කළ හැවෙන්පැලැස්ස වැවවත් ගොඩනැඟීමට ඔවුන් සමත් වූයේ නැත.

අල්ලස් හා දූෂණ පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට ඔක්තෝබර් මාසයේදී දස දහසක් වැව් ව්‍යාපෘතියට අදාළ මූල්‍ය කළමනාකරණය පිළිබඳ පැමිණිල්ලක් ලැබුණි. අල්ලස් හා දූෂණ පැමිණිලි විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියසේන රණසිංහ පැමිණිල්ල ලැබුණු බව සනාථ කළ අතර ඔවුන් ඒ පිළිබඳව සොයා බලන බව පැවසීය.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට අනපේක්ෂිත ලෙස සංචාරය කිරීම සහ වැව් ව්‍යාපෘතියට අදාළ මූල්‍ය හා ටෙන්ඩර් කටයුතු පිළිබඳ ලිපිගොනු රාජසන්තක කරනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ තමන්ගේ නොහැකියාව මතුවන විට එතැනින් මාරු වෙන එකය.

2005 ජනවාරි 26 වනදා එකල කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමතිවරයා වූ අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. (එකල මේ අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පැවති අතර එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ බිමල් රත්නායකය.)

2005 ජනවාරි 4 වන දින අංක 05/0036/039/002 දරණ ජවිපෙ ඇමතිවරයාගේ මේ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් විය:

උපුටා දැක්වීම

“ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක) දියුණු කිරීම සඳහා උමා ඔයෙන් ජලය ලබාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.”

“හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස් වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය.

රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හම්බන්තොට වරාය මේ කලාපයේ නවීන වරායක් බවට පත් කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරිසරන නැව් විශාල ගණනක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයද ඇතුළුව කාර්මික කටයුතු විශාල ගණනක් සිදුවනු ඇති බවට ද බලාපොරොත්තු වේ. මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාව මෙට්‍රික් කියුබික් මීටර් 100ක් වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්ථාවර ජල සැපයුමක් නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ.”

“එමනිසා මෙම ව්‍යාපෘතියට ඉහළ ප්‍රමුඛතාවක් දිය යුතුය.

ඒ අනුර දිසානායකගේ කැබිනට් පත්‍රිකාව ය.

අවාසනාවට අලුතෙන් හෙක්ටයාර් 15000ක් වගා කරන්න ඉලක්ක කරමින් කැබිනට් අනුමැතිය ලැබී උමා ඔය ව්‍යාපෘතියේ වැඩ පටන් ගන්නකොට අනුරලා ආණ්ඩුවෙන් අයින් වෙලාය.

එදා ඉඳලා ජනතා විමුක්ති පෙරමුණට උමා ඔය ව්‍යාපෘතිය සතුරෙකි.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව අවි අමෝරා ගත් ප්‍රමුඛයෙක් වූයේ සමන්ත විද්‍යාරත්න ය.

“ඔය උමා ඔයේ දෙන්න තරම් වතුරක් නැහැ. ඕක සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක්. ඔය උමඟ කොච්චර කල් තියෙයි ද කියලා කියන්නත් බැහැ. අපේ ජීවිත කාලෙදි නැත්නම් ඊළඟ පරම්පරාව බලාගෙන ඉදිද්දි ඕක පුපුරලා විනාශවෙයිද කියන්න බැරි තරමේ අවදානමක් තියෙන්නේ. එහෙම අනතුරක් තියාගෙන මේ කරන්නේ මහ විනාශයක්.”

ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න(1 ජූලි, 2017-සිළුමිණ).

දැන හෝ නොදැන 2005 දී අනුර දිසානායක ඇම­ැතිවරයා විසින් ගෙනා කබිනට් පත්‍රිකාවේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ අරමුණු පැහැදිලි කොට තිබුණි. උමා ඔය ජල යෝජනා ක්‍රමය යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 120ක් එකතු කිරීම එක අරමුණක් බවත් බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීම සහ බදුල්ල, මොනරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම ප්‍රධාන අරමුණක් බවත් එහි විය.

එහෙත් ජවිපෙ කුහක වත සියල්ලට වඩා ඉදිරියට ආවේය. උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියට එරෙහි සංවිධානයක් අටවා ගත් සමන්ත විද්‍යාරත්නලා ඌව ගිනි තැබීම ආරම්භ කළහ.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

ජවිපෙ එරෙහි වූයේ එවැනි ව්‍යාපෘතියට ය.

ජනතා විමුක්ති පෙරමුණ තරම් ඉන්දියාවට විරුද්ධ වූ වෙනත් පක්ෂයක් ලංකාවේ නැත. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ඔවුන් තරම් කෑ ගැසූ වෙනත් කිසිවෙක් නැත. ඔවුන්ගේ පන්ති පහ පහත පරිදිය.

(1) ලංකාවේ ආර්ථික අර්බුදය

(2) ඉන්දියානු ව්‍යාප්තවාදය

(3) ලංකාවේ වාමාංශික ව්‍යාපාරය

(4) නිදහස යනු කුමක්ද?

( 5) ලාංකික විප්ලවය ගතයුතු මග.

එහි දෙවැන්න ඉන්දියානු ව්‍යාප්තවාදය ය.

එහෙත් අද ඔවුන් රාජ්‍යතාන්ත්‍රික ලෙස ඉන්දියාවට යයි.

කණ්ඩලම හෝටලය තනන්නට යද්දීත් බොහෝ දෙනා එය දේශපාලන සටනක් කරගෙන බිල්ලෙක් මැවීය. එදා වැව් තාවුල්ලේ ගිනි තියාගෙන නිවන් දකින්නට සමහරු වෑයම් කළහ. අද කණ්ඩලම හෝටලය ලංකාවේ ඇති සුන්දරම හා හොඳම හෝටලය ය. ලාංකිකයෝ ද කිසිම අඩුවක් නැතිව පැමිණෙන අතර පරිසරයට කිසිදු අතුරු ආන්තරාවක් වී නැත. ජෙෆ්‍රි බාවා නම් අපූරූ ගෘහ නිර්මාණ ශිල්පියා ඉදිකළ පරිසර හිතකාමී හෝටලය නිසා, රටට ලැබෙන ආදායම විශාලය. රැකියාවෙ නියුතුව සිටින්නේ ගම්වාසීන්ය.

නොරච්චෝලේ බලාගාරය ඉදිකරන කාලයේ නව ආරක විරෝධයක් ආවේය.

‘ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න එන්නේ. මේක රටට මහා විනාසයක්. මුළු රටම ඉවරයි. ඒ විතරක් නෙවේ මේකෙන් ශ්‍රීමහා බෝධියත් විනාශ වෙනවා’

සමහර අවස්ථාවාදීන් එහෙම බිල්ලෝ මැවීය.

අද ජාතික විදුලිබල නිෂ්පාදනයේ වැඩි පංගුවක් දෙන්නේ නොරොච්චෝලේය.

මහවැලිය හදන විට කීවේ මේ මහා ජලාශ නිසා කඳු නාය යාමට ලක්විය හැකි බවය.

‘මේක ජාතියේ බොටුව හිර කරන වැඩක්. මුළු කඳුකරයම ඉවරයි. මහවැලිය නිසා පන්සල් යට වෙනවා. මේක මහා පාපයක්.’ කියා ඒ කාලයේ සමහරු චෝදනා කළහ.

‘ඕකට බ්‍රිතාන්‍ය ආධාර කරන්නේ නිකං නෙවේ. අපි දෙවෙනි වතාවට සුද්දට යටත් කරන ගිවිසුමක් ඕක. එහෙම නැතිව රැජන ඕකට උදව් කරන්නේ නෑ’

ඒ තවත් අය කී කතාය. අද, මහවැලිය තරම් යෝධ ව්‍යාපෘතියක් හිතාගන්නටවත් බැරිය.

බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් වලින් ආධාර හිමි විය.මහවැලි ගඟත්, එහි අතු ගංගාත් මාදුරු ඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39%ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇති කිරීමටත්, නව ජනාවාස බිහි කිරීමත්, එමඟින් නව රැකියා අවස්ථා ලබාදීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය. එය අති මහත් පංගුවකින් සාර්තක විය.

මෙවැනි සියලු සංවර්ධන වැඩවලට කොන්දේසි විරහිතව විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ වගකීමක් ගෙන කටයුතු කරන අවදියේ ද වගකීම් විරහිත විදිහට හැසිරී ඉන් ඉවත් වී ඇත. එපමණක් නොව තමන්ට එම දැරූ තනතුරු බර වැඩි බව ප්‍රකාශ කිරීමට තරම් ඔවුහු අවාසනාවන්ත වූහ.

අමාත්‍ය ධුර හතරක වගකීම ඉටු කිරීම සම්බන්ධව භීතියෙන් යුතුව පසු කලෙක එකී වගකීම් බර වැඩි බව ඔප්පු කොට පෙන්වූ ඔවුන් ජනාධිපති ධුරයක සහ ආණ්ඩුවක වගකීම සැහැල්ලුවෙන් ඉටු කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *