බැසිල් අගමැති – රනිල් ජනපති. උදයංග වීරතුංග වැට පනී !!
බැසිල් රාජපක්ෂ ලබන මාර්තු 05 වනදා ලංකාවට එන බවත්, ඒ එන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවකින් බවත් රාජපක්ෂ පවුලේ සමීපතයකු සහ ඥාතියකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්තරා YouTube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණා.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුල සමඟ රනිල් වික්‍රමසිංහ ඇතිකර ගත් එකඟතාවකට අනුව නුදුරේදී ම පාර්ලිමේන්තුව විසුරවනු ඇති බව සහ බැසිල් රාජපක්ෂ පොහොට්ටු අගමැති අපේක්ෂකයා ලෙස එම මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි.
කලක් ජාත්‍යන්තර අධිකරණයේ වරෙන්තුකරුවෙකු වූ උදයංග වීරතුංගට අනුව, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන මොනා නැතත් දේශපාලන තීන්දු තීරණ ගන්නේ රාජපක්ෂ පවුලට ඕනෑ ලෙස ය. එක පැත්තකින් රනිල් එහෙම කරන්නට බැඳී සිටීමට ලොකු ඉඩක් ඇත. මන්ද වැලේ වැල් නැතුව 2020 මහ මැතිවරණය දෙපිටින් යන්න පරාජය වී පැත්තකට විසි වුන රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති ධූරයට පැනගන්නට සමත් වන්නේ රාජපක්ෂ පවුලේ තෝරාගැනීම ලෙස ය.
ඔහුට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් ඔලු ගෙඩි සියල්ල පොහොට්ටුවට අයත් වූ අතර, එය එසේ වූයේ රාජපක්ෂ පවුලට ඕනෑ ලෙස බව කවුරුත් දන්නා කරුණකි. එදා සිට රනිල් කටයුතු කළේ රාජපක්ෂලාට ඕනෑ හැටියට ය.
කොටින්ම ජනාධිපති වෙනස් වුනාම සාමාන්‍යයෙන් වෙනස් කරන ආරක්ෂක ලේකම්, බුද්ධි අංශ ප්‍රධානී… වගේ රාජපක්ෂ හිතවතුන් සිටි තනතුරු එහෙමම තියෙන්නට අරින්න රනිල් කටයුතු කලේ මේ රාජපක්ෂ ගැති බව නිසා ය.
නමුත් කවුරුත් නොදන්නා කරුණ වූයේ 2019 දී පවා ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වී ඔහුගේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීමට සූදානමක් තිබූ බව ය. නමුත් මේ උත්සාහය රාජපක්ෂ පවුලේ බල අරගලය තුළ දියව ගිය අතර, බැසිල්ගේ තැන ගෝඨාභය ඩැහැ ගත්තේ ය.
ඉතින් එකී පරණ බැසිල් – රනිල් මිතුදම තවම ඇති අතර මෙවර ඔවුන්ගේ උත්සාහය උදයංග වීරතුංග හරහා කරලියට මතුව ඇත.
බැසිල් අගමැති – රනිල් ජනපති ලෙස කටයුතු කරන සෙල්ලමට ඔවුන් උත්සාහ ගනිමින් ඇත.
නමුත් පරහක් හට ගෙන ඇත.
ඒ ලන්සා පිල යි. ලන්සා සාර්ථක ජනරැලි දෙකක් පවත්වා පොහොට්ටුවේ පොඩ්ඩන්ට යම් උත්තේජක පණිවිඩයක් දී ඇත – එළියට බැහැලා වැඩ කලොත් ජවිපෙ වගේ වෙන්න අපිටත් පුලුවන් – අපිටත් ground එකේ ඉඩක් තියෙනවා –
ලන්සා පිල පෙන්වා දුන් මේ හැකියාව හරහා ඔවුන් පොහොට්ටු පොඩ්ඩන් තම පිල වෙත ඇද ගනිමින් සිටිති.
මින් වැඩිම අවාසිය වන්නේ රාජපක්ෂ ලාටය. කළබල වූ බැසිල් හදීසියේ ලංකාවට එන්නේ මේ නැග එන රැල්ල තම මිත්‍රයා වන රනිල් වික්‍රමසිංහ හරහා බිඳ දැමීමට ය. ඒ පාර්ලිමේන්තුව විසිරවීමෙනි.
අලුතින් බිහිවෙන පාර්ලිමේන්තුව තුළ කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවන තත්ත්වයක් මත, අටවා ගන්නා 113 ක් හරහා බැසිල්ට අගමැතිකම ලබා දෙන්නට රනිල්ව පොළඹවනු ඇත්තේ ඊළඟට එන ජනාධිපතිවරණය තුළ ඔහුට අවශ්‍ය සහය ලබාදීමට හිලව්වක් ලෙස ය.
මතක තබා ගත යුත්තේ 2022 ජූලි 09 පලවා හැරියා යැයි ලංකාවේ ජහමනයා සිතූ අවතාර තවමත් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය තුළ හොල්මන් කරන බවය.