බැසිලාගමනයත් සමග දේශපාලනය වෙනස් වේද?

බැසිලාගමනයත් සමග දේශපාලනය වෙනස් වේද?

බැසිල් රාජපක්ෂ මාර්තු 05 ලංකාවට එන බවත්, පෙරහරින් ගෙන එන බවත් ඇතුළු කතා උදයංග වීරතුංග කියා තිබිණි. බැසිල් ආවාට පසුව මහමැතිවරණයක් ලබාගන්නා බවත් කියා තිබිණි. මේ ඔක්කොම උදයාංග කී පට්ටපල් බොරු ය. උදයාංග කියන්නේ රාජපක්ෂලාට හෙන ගහනකොට එලියට විසි කරන යකඩයක් වගේය. බැසිල්ලාගේ කෙරුවාවල් 2022 ට කලින්ය. දැන් බැසිල්ලාගේ මිනිස්සු තැන් තැන්වලය.

සැළකිය යුතු පංගුව මාලිමාවේ ය. ඊලග පංගුව ලංසලාගේ ළඟ ය. ඊළඟ ලොකු පංගුව ඩලස්ලා ළඟ ය. තවත් කෑල්ලක් විමල් ළඟ ය. උදය ගම්මන්පිල යනු විමල්ගේ වලිග කෑල්ලක්ය. ඊලග පංගුව දිලිත් ජයවීර ළඟ ය. තවත් පංගුවක් ඍජුවම රනිල් ළඟට ද, සුළු පංගුවක් සජබයට ද, ඊටත් කුඩා පංගුවක් අනෙක් පක්ෂ වටා ද එක් ව ඇති අතර, තවත් සැලකිය යුතු පංගුවක් නිශ්ශබ්දය. දැන් රාජපක්ෂලාට ඉතිරිව ඇත්තේ නමක් පමණම ය. සල්ලි විසි කරලා මිනිස්සු ඇද්දොත් විනා 2015 මහින්ද සුළඟට ආවා වගේ එන්න මිනිස්සු දැන් පොහොට්ටුවට නැත. පොහොට්ටුවට ඊළඟ කුමන හෝ මැතිවරණයක දී වන්නේ 2020 එජාපයට අත් වු ඉරණමම ය.

2015-2020 අතර පොහොට්ටුවට මිනිස්සු හැදුවේ විමල්ගේ කටය. ඩලස්ගේ ඔලුවය. දිලිත්ගේ සහ ටිරාන්ගේ මාධ්‍ය හයියය. දැන් ඒ සියල්ල රාජපක්ෂලාට අහිමිව ඇත. අද රාජපක්ෂලා ගෙවන්නේ 2005න් පසු රාජපක්ෂලා චන්ද්‍රිකාට කරපු කරුමයේ පව් ය. අවුරුදු 20 ක් යන්න කලින් දිඨ්ටධම්මවේදනිය කර්මය රාජපක්ෂලාට පළදෙමින් ඇත්තේය. තවමත් ඔය රාජපක්ෂ සනුහරයෙන් යම් හෝ පිලිගැනිමක් ගෞරවයක් ඇත්නම් ඒ මහින්දට පමණමය. තමන් එක්ස්පයර් බව මහින්ද දනී. ඒත් මහින්දට සමුගන්න පවුලෙන් ඉඩදෙන්නේ නැත. ඒ අතරින් බැසිල් ප්‍රමුඛ ය. ඔය බැසිල්,නාමල් ආදි කවුරු කවුරුවත් තමන්ගේ ගැලවිල්ලට ඉස්සරහට දාගන්නේ මහින්ද නිසාය. මහින්ද පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනු දාට චන්ද්‍රිකාට වුනු දේ ඔවුන්ට වන බව ඔවුන් හොඳින් ම දන්නේ ය.

බැසිල් අච්චර වැඩ්ඩාය, මොල හතාය කියා කිව්වාට රට බංකොලොත් වුනේ බැසිල් මුදල් ඇමති කාලේ බව පොහොට්ටුවේ ගොබෙල්ස් උදයංගට නොතේරෙන්නේය. දැන් බැසිල් ලාට එල්ලෙන්න වැලක් නැත. ඒ හින්දා මහමැතිවරණයක් තබන බව බොරු ප්‍රචාරයක් ගෙනයන්නේය.

මහ මැතිවරණයක් නොතියන්නේ ඇයි?

ජනාධිපතිවරණයක් අභිමුඛව මහමැතිවරණයක් නොතියන්න හේතු දෙකක් ඇත. පළමුවැන්න නම් ජනාධිපතිවරණයකට කලින් මහමැතිවරණයක් තියලා මහමැතිවරණය පරාජය වුනු ජයග්‍රාහි කඳවුරේ අපේක්ෂකයන් ජනාධිපතිවරණය කර අරින බව ජනාධිපතිවරයා දනියි. මහමැතිවරණය දිනුවාට පසුව ඔය දේශපාලඥයන් බොහෝමයක් ද ජනාධිපතිවරණයට වැඩිය දඟලන්නේ නැති බවත් දනියි. ජනාධිපතිවරණයක් පළමුව තිබ්බාම තමන්ගේ මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී කරපු වැඩ දිහා ඡන්දදායකයන් බලන් ඉන්න බව ද ජනාධිපතිවරයා දනියි. අනෙක් පැත්තට මහමැතිවරණයට නාමයෝජනා ගන්න නම් ජනාධිපතිවරණය කරගහන්න වෙන බව දන්නා අපේක්ෂකයන් ජනාධිපතිවරණයට බොක්කෙන්ම වැඩකරන බව ද ජනාධිපතිවරයා අත්දැකිමෙන් දනියි.

මෙහෙම බැලුවාම ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය නොතියන්න තියෙන එක හේතුවක් ඒකය. අනෙක් කරුණ නම් මැතිවරණ ප්‍රතිපලවල ඉතිහාසයයි.

අර්බුද මැද 1988 ජනාධිපතිවරණය තියලා 1989 මහමැතිවරණය භීෂණය මැද්දේත් තියලා දින්නේ 88 ජනපති වු එජාපයයි. 1994 ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය තිබ්බේය. 113 ක් ගත්තෙ නැති චන්ද්‍රිකා කුමාරතුංග මතුවෙලා ඇවිත් 1994 ජනාධිපතිත් වුනේය. චන්ද්‍රිකා 1999 ඉස්සෙල්ලා ජනාධිපතිවරණය තිබ්බේ අර්බුද රැසක් මැදය. ඇය දින්නේය. මහමැතිවරණය 2000 තිබ්බත් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න බැරුව පරිවාස ආණ්ඩුවක් මාස 06ට ජවිපෙ එක්ක හදා 2001 ආයෙත් මහමැතිවරණයක් තියන්න පවා වුනේය. වැරදිලා හරි චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය නොතියා කලින් මහමැතිවරණය තිබ්බානම් ඇයට ජනපතිකමත් අහිමිවෙන්න තිබුණ ඉඩ වැඩිය.

2004 දී චන්ද්‍රිකා කලේ කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමය. ඒ පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුනේ 2006 දීය. චන්ද්‍රිකා ඒක කලේ රනිල් 2001 දී ගත් ආණ්ඩුව විසුරුවා හැරිමය. එතැනදී තමන්ට බැන බැන හිටි ජවිපෙ ද එකතුකරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් පුළුල් සන්ධානය හැදුවේය. එහෙම කරලාත් 113 ක් ගන්න බැරිවුනේය. කථානායක තෝරන්න ගිහින් මහ ගාලගෝට්ටියක්ද වුනේය. එත් එහෙම හදපු ආණුඩවේ අගමැති මහින්ද 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කලේය.

1994 දී වුනු දේම 2004 -2005 වුනේය.
මහින්ද 2009 යදු ජයග්‍රහණයෙන් පසුව 2010 ඉස්සෙල්ලා තිබ්බේ ජනපතිවරණයයි. ඒක දිනලා මාස කීපයක් තුළ මහමැතිවරණය තියලා සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 2/3 ක් ද අරන් විපක්ෂය හෝදා දැම්මේය. 2015 දීත් මහින්ද ඒක කරන්න ගියේය. එතැනදී ඉතිහාසයේ ප්‍රබලම සන්ධානය ගොඩනැගිනි. වසර 10ක චෝදනා සහිත රාජපක්ෂ පැරදිනි. මහමැතිවරණය තියන්න ටිකක් කල් ගියේය. මහබැංකු බැදුම්කර වංචා චෝදනා ඇතුළු චෝදනා ද එක්ක යහපාලන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලැබුණි. 2019 ජනාධිපතිවරණය මහමැතිවරණයට කලින් තිබ්බේය. සජිත්ගේ කට් ප්‍රවේසම් කරගත්තා නම් ඕනෑවට වඩා තමන් ගැන තක්සේරුකරනොගෙන සමාජ බලවේග විශ්වාස කලානම් 2019 දී ඔහුද දිනන්නට ඉඩ තිබිණි. ජනාධිපතිවරණයෙන් පසුව 2020 පැවති මහමැතිවරණයෙන්ද පොහොට්ටුවට 2/3 ට ආසන්න බලයක් ලැබුණි.

මේ අවස්ථා සියල්ලක්ම රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිවරයකු, අගමැතිවරයකු,හා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස බලාසිටි අත්විදි පුද්ගලයාය. අද වනවිට රාජපක්ෂලාට හොරා තමන් එක්ක ගනුදෙනු කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීලා ගැන දන්නේ රනිල් පමණමය. සජිත්ට හොරා රනිල් එක්ක ගනුදෙනු කරන සජබ මන්ත්‍රීවරු ගැන දන්නේ රනිල් පමණමය. රනිල් මහජන මතයට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්වාස කරන්නෙකි. ඔහු 2022 දී ඔහුගේ විශ්වාසයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.

වැඩේ කියන්නේ දැන් රනිල් එක්ක ගනුදෙනු කරන මන්ත්‍රීවරු බොහොමයකට බිම් මට්ටම නැතිවෙලාය. ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන හෝ 2023 සැප්තැම්බර් ජනාධිපතිවරණ්‍යක් තිබ්බානම් රනිල්ට දිනන්න තිබුණු චාන්ස් එක වැඩිය. ඒ වෙලාවේ රනිල් මෑන් ඔෆ් ද සීරීස් වෙලා හිටියේය. අදටත් මහපොලවේ රනිල් ට හොද මට්ටමක් නැත. අද වනවිට මහපොලවේ වැඩිම බලය ඇත්තේ මාලිමාවට බව අපගේ නියැදි පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

රනිල්, සජිත්, අනුර යන ජනාධිපතිවරණ පරාජිත අපේක්ෂකයන් අතර වැඩිම ආකර්ශනය අනුරට බව අවිවාදිතය.
යම් හෙයකින් දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් රනිල්ට වාසියක් වේ යැයි ඇතැම් හු සිතති. ඒ උතුරු නැගෙනහිර හා කදුකරය මාලිමාවට නැති නිසාය. ඒත් මාලිමාවට හැදී ඇති ජනතා රැල්ල නිසාම කිසිවෙක් නන්නාදුනන මාලිමා පොල්ලෙලි ද 2024 පාර්ලිමේන්තුවට ඒම වලක්වන්න බැරිය. එහෙම ආවත් පාර්ලිමේන්තුවේ වැඩිම පංගුව ගන්නේ මාලිමාව වීම වලක්වන්න ද අද තියෙන අලි පොහොට්ටු සන්ධානයට හෝ සජබට නොහැකිය. මේ තත්වය මත කිසිදු පක්ෂයකට හෝ සන්ධානයකට පාර්ලිමේන්තුවේ 113 ක් ගන්න හැකිවන්නේ නැත. සුළුතර කණ්ඩායම් ඔක්කොම එකතුකරලා මාලිමාව විපක්ෂයට දමා ගන්න හිතුවත් ඒකේ වාසියක් හෝ රනිල් වික්‍රමසිංහට එන්නේ නැත. එහෙම හදන අච්චාරුවකින් රටේ තිබෙන ඇත්ත ප්‍රශ්ණ වලට උත්තර නැති නිසාය. 2024 මහමැතිවරණය කලින් තිබ්බොත් 2022 රටේ ඇති වු තත්වය ඉක්මවා ගිය මහා විනාශයකට රට යාම වලක්වන්නටද කිසිවෙකුට නොහැකිය.

බැසිල් ට සහ රාජපක්ෂලාට ඔනෑ කරන්නේ ඒකය. අරගල කරලා උඹලා අපි එලවා ගත්තා. දැක්ක නේද දැන් රටට වෙලා තියෙන දේ කියලා ෆීනීක්ස් පක්ෂියා වගේ නාමල්ට හෝ බැසිල්ට නැගිටලා අළුගසා දමලා එන්නය. ඒකට පාර කපන්න රට අර්බුදයකට යවන්න තරම් රනිල් නොම්රූ ලදරුවෙකු නොවනු ඇත. ජාත්‍යන්තරයත් රටේ ප්‍රභූ ප්‍රජාවත් රනිල් හදුන්වන්නේ ජෙන්ට්ල්මන් කෙනෙක් කියාය. ජෙන්ට්ල්මන්ලා සහ අනාගතවාදිව කටයුතු කරන උදවිය රට අනතුරට වැටෙන බාල වැඩ කරන්නේ නැත. රනිල් එවන් කුහකයෙක් හෝ මෝඩයකු නොවනු ඇත. රනිල් වටේ ඉන්නා අයද ඒක තේරුම් ගැනිම හොඳය. දෙයක් ලැබේනම් ඒ සුදුස්සාටම ලැබිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *