බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය සඳහා මේ වසරේ අපි ආණ්ඩුව ගන්නවා..!

බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය සඳහා මේ වසරේ අපි ආණ්ඩුව ගන්නවා..!

හම්බන්තොට පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ. පීඩාවට පත් කරන ලද පීඩකයා සහ පීඩිත භාවයට පත්වූ ජනතාව අතර තීරණාත්මක සටන 2024 වසරේ පැවැත්වෙන බව ය.

රටේ නාස්තිකාර වියදම් නතර කර පෙන්වීමටද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ඔබට මතක ඇති ඔවුන්ගේ දේශපාලනය කොහොමද තිබුණේ? ඡන්ද කාලෙට සාරියක් බෙදන තිබුණා නේද? එක පැත්තකින් අමුතු විදිහට බෙදුවේ. උපාසක අම්මට බෙදනවා සිල් රෙද්ද. තාත්තට බෙදනවා අරක්කු බෝතලේ. එක අතින්. තිබ්බේ නැද්ද එහෙම දේශපාලනය? බෝතලෙත් නෙමෙයි අර කාලේ කුප්පිය. එහෙම නේ බෙදුවේ.
ඒගොල්ලෝ සාරි බෙදමින් මට මතකයි ඔය මහින්ද අමරවීර ගිනි පෙට්ටිත් බෙදුවා. මතකද? නේද? ගිනිපෙට්ටියක් බෙදුවා නේද? ගිනි පෙට්ටියේ ෆොටෝ එක ගහලා. ඉස්සර අපි දැක්කේ අලියා ලකුණ ගිනිපෙට්ටිය. පස්සේ දැක්කා අමරවීර ලකුණ ගිනිපෙට්ටිය. මතකද? ඔය තාම තියෙන ගිනි පෙට්ටියක්. ඉතින් මෙහෙමනේ කරේ.

ඒ කියන්නේ ගිනිපෙට්ටි බෙදන, ඉටිපන්දම් බෙදන, සාරි බෙදන මේ දවස්වල පොල් පැළ බෙදනවාලු. බෙදනවාද?
හැබැයි අපේ රටට අවශ්‍ය අලුත් දේශපාලනයක්. ඒ මොකුත් නෙවෙයි, මේ බෙදෙන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය. මොකක්ද අපේ රටට ඕනා? බෙදන දේශපාලනයද? මේ හම්බන්තොට හිටියා, බෙදන්න කප්පිත්තෙක්. කවුද? මොනවද නොබෙදුවේ? නේද? මහන මැෂින් බෙදුවා. ටිකිරි ගෙනෙන් බෙදුවා. නේද? මළගෙයක් උනොත් හාල් මිටි එව්වා. එව්වා නේද? මොන බෙදන දේශපාලනයක්ද? පිරිත් පොතක් බෙදුවලු.

මම කියන්නේ මොකක්ද මේ දේශපාලනය? අපේ රටට මිනිසුන් යාචක තත්වයට පත් කරලා. මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න ආදායමක් නැති තත්ත්වයට පත් කරලා. ගෙයක් හදාගන්න, දරුවට රස්සාවක් ගන්න, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි තත්වයක් හදලා ඒගොල්ලෝ මොකද කරන්නේ? උඩින් ඉඳගෙන බෙදන සිටුවරු බවට පත්වුණා. එහෙම දේශපාලනයක් තිබුණා. හැබැයි ඒ දේශපාලනයේ අන්තිම ගමනට අපේ රට දැන් ඇවිල්ලා තිබෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? බෙදන්න එන කොට හූ කියනවා. ඒකත් මරු වැඩියි. මම දැක්කා නේද? මොකද ෆිල්ටර් වගයක් බෙදන්න ගියා අනුරාධපුරේ. බෙදන්න එන කොට හූ කියනවා. මිනිහා කෙඳිරි ගගා යනවා. මම තමයි මේවා ගෙනාවේ. එස් එම් නේද? බෙදන්න යන කොට හූ කියනවා. මේත් මට ආරංචියි. පොල් පැල බෙදන කොට ගමේ හාමුදුරුවන් වහන්සේ කිව්වලු බෙදන්න ඕන නම් පන්සලේ තියලා යන්න මම බෙදන්නම් කියලා. ඒකත් නරක නැහැ. නේද?

ඒ කියන්නේ මේ බෙදන දේශපාලනය අවසන් කළ යුතුයි. එය රටට හෝ ජනතාවට හෝ සුගතියක් අත්පත් වුණේ නැහැ මේ බෙදන දේශපාලනය. අද අපේ රටට අවශ්‍යයි මොකක්ද? හදන දේශපාලනය. ඒ නිසා මේ ගැටුම තිබෙන්නේ පුරවැසියන් යාචකයන් බවට පත් කරලා. ඒගොල්ලෝ සිටුවරු බවට පත්වෙලා. ඒගොල්ලොන්ගේ ඇඟිලි අතරින් වැටෙන මොකක් හරි ලැබෙන්න කියලා දෑත ඔසවාගෙන ඉන්න දේශපාලනය අපිට ඕනා. ඒගොල්ලෝ එහෙම නෙමෙයිද කරේ?

මේ හම්බන්තොට වැඩිම ඉඩම් අයිති කාටද? රාජපක්ෂලාට. පුරවැසියන්ට ඉඩම් නෑ. මේ හම්බන්තොට විතරක් නෙවෙයි රට හැමතැනම. මම දවසක් ඉඩම් ලැයිස්තුවක් කිව්වා. යෝශිතගේ ශිරන්තිගේ, නාමල්ගේ, මට කියාගෙන ගිහිල්ලා මටම හති වැටිලා නතර කරා. ඒ තරම්. ඒගොල්ලෝ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරලා, ඒගොල්ලන්ගේ ඇඟිලි අතරින් වැටෙන යමක් නේද,

යාචකයන් ලෙසට අපිට පුදන දේශපාලනයක් තිබුණා. ඒ දේශපාලන අවසානයේදී අපේ රටත්, අපේ ජනතාවත් විශාල පීඩාවට පත් කොට තිබෙනවා අපි අනිවාර්යෙන් මේ දෙදාස් විසිහතරේ ඒ දේශපාලනය අවසන් කොට හදන දේශපාලනය අපේ රටේ ස්ථාපිත කළ යුතුයි.

එහිදී මම හිතනවා විශාලතම සත්‍යතාවය, විශාලතම හැකියාව තිබෙන්නේ අපේ අක්කලාට, නංගිලාට, අම්මලාට, දියණියන්ට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *