මං කළේ කෙහෙලිය කියපු දේ! රිමාන්ඩ් කළ හිටපු සෞඛ්‍ය ලේකම් කියයි

මං කළේ කෙහෙලිය කියපු දේ! රිමාන්ඩ් කළ හිටපු සෞඛ්‍ය ලේකම් කියයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පෙරේදා නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (18 වැනිදා) අත්අඩංගුවට ගෙන පස්වරු 6.00ට පමණ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියේ 6 වැනි සැකකරු ලෙස නම් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මහෙස්ත්‍රාත්වරිය විසින් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ ඊයේ රාත්‍රි 8.30ට පමණය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදෙන උපදෙස් පරිදි තමා කටයුතු කළ බව සැකකාර හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් කර ඇතැයි අධිකරණයට දන්වා සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කොතරම් දුරට වගකිව යුතුද? යන්න මෙතෙක් විමර්ශනය කර නොමැති බවද දන්වා සිටියේය.

නමුත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන්ද ඉදිරියේදී විමර්ශනයක් සිදුකරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන, නිෂ්පාදන හා සැපයුම් අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලයට සහ ඊට අනුබද්ධ සියලු කාර්යාලවලට වහාම ඉබි යතුරු දමා වසා දමන ලෙස මහෙස්ත්‍රාත්වරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

එලෙස වසා දැමීමට නියෝග කරන ලද අතිරේක ලේකම්වරයාගේ කාර්යාලය සහ ඊට අනුබද්ධ සියලු කාර්යාල අද (19 වැනිදා) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට පරීක්ෂා කර බැලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය, ඊට අදාළ පහසුකම් සපයන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

එම කාර්යාලවල පවතින ලේඛන සහ පරිගණක දත්ත සියල්ල සුරක්ෂිතව තබන ලෙසටද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එම කාර්යාලවල තිබෙන විමර්ශනයට අදාළ ලේඛන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ භාරයට ගැනීමටද අවසර දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *