‘මැයි දිනයේ’ එළඹෙන ‘දේශපාලන අයියලාගේ’ දවස
මෙවර කම්කරු දිනය ලංකාව තුල සුවිශේෂ එකක් වන ලකුණු පහල වෙමින් ඇත. ඒ එය වෙන කවරදාටත් වඩා වැඩ කරන ජනතාවගෙන් ඈත් වී ” වෙන්න ජනාධිපති ” ලාගේ බලය පෙන්වන සංදර්ශනයක් වීමට ඉඩ ඇති නිසාය.
ලංකාව තුළ වෙන්න ජනාධිපති කෙනෙකුගේ බලය පෙන්වීම යනු ඔහු හෝ ඇය සතු එම තනතුර දැරීමට විභවය හෝ ශක්‍යතාවය පෙන්වීමක් නොවන අතර, එය ඉන්නා පරිවාර සේනාව පෙන්වීමකට සහ ළඟ ඉන්නා බලවන්තයන් පෙන්වීම වැනි ඒවාට සීමා වේ.
ඒ අර්ථයෙන් ගත් විට වෙන්න ජනාධිපතිවරු අතර මුල්පෙළේ සිටින ජවිපෙ අනුර සහ සජබ සජිත් යන දෙදෙනාම යම් තැනක ලැග සිටියි. ඒ දිස්ත්‍රික් මහජන රැස්වීම්, තරුණ සමුළු, කාන්තා සමුළු ආදී එකි නොකී ජනතාව රැස්කරන මාදිලියේ ක්‍රියාකාරකම් තරඟයට මෙන් සිදු කර අවසන් වී තිබීම ය. දැන් ඔවුනට එතනින් එහාට කරන්න දෙයක් එතැන ඉතිරි වී නැත. දැන් තියෙන්නේ කලින් බෝලේ උඩ ගැහැව්ව එකා මෙන් එය අල්ලන්නට හතර අතේ දුවන සෙල්ලමකි. එහි ප්‍රමාණික හෝ ගුණාත්මක වර්ධනයක් තව දුරටත් අපේක්ෂා කල නොහැක.
දැන් මේ දෙපිරිසම බලය පෙන්වීම උදෙසා එක්තරා තීරණාත්මක තැනකට එළඹ ඇති අතරම, මේ මැයි දිනයේදී ඒ සඳහා වන වෙන මාදිලියක අවස්ථාව උරගා බැලීමට ද ඇතැම් විට මේ දෙපාර්ශවයම පෙලඹීමට ඉඩ ප්‍රස්ථාව නැතුවා නොවේ.
ඒ අන් කිසිවක් නොව දේශපාලන පිටියේ තමන්ගේ නොවන බලවන්තයන් තම මැයි දින වේදිකාවට කැඳවා “මේ අයත් ඉන්නේ අප සමඟයි ” යන්න රටට පෙන්වීම ය.
ජවිපෙ විසින් මාලිමාව ඉස්සරහට දාගෙන ගිය ගමන එය විසින්ම එහි මායිම සලකුණු කරන තැනකට පිවිස ඇති අතර, දැන් ඔවුන් මාලිමාවට ඉහළින් BIG TENT මොඩැලිටියක් ඇති කිරීමට යත්න දරමින් ඇත. ඒ ඩලස්, චරිත, රාසමානික්කම්, වලේබොඩ….. ආදී තමන්ගේ පිලේ නොවන චරිත ඒ කූඩාරම තුළට වද්දා ගැනීමෙනි. මේ දින වල ඒ සඳහා ද්විපාර්ශ්වික මෙන්ම බහු පාර්ශ්වික කථා බහ මහ හුඟක් යහමින් කෙරෙමින් පවතින අතර, ජනාධිපති ධූර අපේක්ෂකත්වය හැර වෙන ඕනම එකක් දෙන්න පුලුවන් එනවද කියා අහන මට්ටමටම එම අවශ්‍යතාව වර්ධනය වී ඇත. එය ජවිපෙ තමන් විසින්ම තනා ගෙන සිටින ඊනියා දේශපාලන සුජාතභාවය නැමති කන්‍යා පටලය බිඳී යාමට හේතුවක් විය හැකි අතර, එම විරුද්ධභාෂයට මුහුණ දීමේ හැකියාවේ ප්‍රමාණය ජවිපෙ ඉදිරි මැතිවරණ තුල නැග්ම මෙන්ම බැස්ම ද තීරණය කරනු ඇත.
සජබ තුළ ද තත්වය මීට වෙනස් නොවේ. ඔවුන්ගේ උත්සාහය ද තමන්ගේ නොවන දේශපාලන හයි කාරයන් කීප දෙනෙකු හෝ මැයි දින තම වේදිකාවේ ප්‍රදර්ශනයට තබා මැතිවරණ සඳහා වන ඊළඟ පිම්ම ගන්නට සජිත් සහ පිරිස කැස කවමින් ඇත. ඒ සඳහා ඔවුන් ද කවදාවත් පක්ෂය පැත්ත පලාතේ වද්දා ගන්නේ නෑයි කියපු අය සමඟ ද සජිත්ගේ ජන්මාන්තර වෛරක්කාරයන් සමඟ ද යහමින් කථා කරමින් ඇත. ඒ සඳහා අවශ්‍ය නම් නියෝජ්‍ය නායක, සම නායක, අවශේෂ නායක … ආදී තනතුරු අලුතින් නිර්මාණය කිරීමට වුවද සූදානම් මට්ටමටමකට සජිත් ප්‍රේමදාස ගේ බල අවශ්‍යතාව ද වර්ධනය වී ඇත. සජිත්ට ද එහිදී ජවිපෙට මෙන්ම ඒ කෙරුවාව පාරාවලල්ලක් විය හැකි බව ඔහු නොදන්නවා නොවේ, මේ පිටින් එන බලවන්තයන් නිසා පක්ෂයේ සිටින අය තරහ විය හැක, ඇතැම් නම් නිසා පාක්ෂිකයා කුපිත විය හැක. නමුත් මේ සියල්ල තිබියදීත් ඉදිරි මාස කිහිපය දුවන්න අවශ්‍ය පිම්ම ගන්න නම් මෙය නොකර බැරිය.
එබැවින් මැයි පලවෙනිදා සංදර්ශනය කම්කරුවන්ගේ නොවේ ය. ජවිපෙ සහ සජබ දෙකම දේශපාලන ඩයනමයිට් තම වේදිකා තුළ පුපුරුවා හැරීමට මාන බලමින් සිටියී. මේ සියල්ලේ සේවා නූල් අදිමින් වෙඩි බෙහෙත් තවරමින් සජිත් – අනුර යුහුසුළු වන නිමේෂයේ පස්වන පටුමගේ නිවස තවම අඩ අඳුරේ නිහඬව ඇත.