මිලින්ද මොරගොඩ ශ්‍රීමතාණන් පිළිබඳ විවරණයක්!

මිලින්ද මොරගොඩ ශ්‍රීමතාණන් පිළිබඳ විවරණයක්!

මිලින්ද මොරගොඩ යනු එන්. යූ. ජයවර්ධන පරපුරේ අංකුරයකි. එන්. යූ. ජයවර්ධන යනු මර්කන්ටයිල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ය. බංකොලොත් වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය ද හිමිව තිබුනේ මෙම ව්‍යාපාර සමුහයටය. මර්කන්ටයිල් ව්‍යාපාරය බංකොලොත් වීමට පෙර එම සමාගම හා මොරගොඩ අතර සිදු වූ ලැදියාවන්ගේ පරස්පරතා සහිත ක්‍රියා ගණනාවක් එකල මාධ්‍ය මගින් නිරාවරණය කොට තිබුණි.

මිලින්ද මොරගොඩ දේශපාලනයට අත්පොත තබන්නේ රනිල්ගේ හිතේෂී මිතුරකු ලෙස එජාපයෙනි. 90 දශකයෙදී නැගෙනහිර කොළඹ ආසනයේ සංවිධායක ලෙස කටයුතු කරන්නේ මිලින්ද ය. කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කල හෙතෙම 2001 දී රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබුයේය. එම අවධියේ දී ශ්‍රී ලංකා රජයේ සාම ලේකම් කාර්යාලය පවත්වාගෙන ගියේ මිලින්ද යටතේ ය. එල්ටීටිය සමග සාකච්ඡා පැවැත්වූ ශ්‍රී ලංකා දූත පිරිසෙහි ප්‍රධානියා වුයේ ද මිලින්ද ය. එල්ටීටිය සමග එළඹුන කුප්‍රකට සටන් විරාම ගිවිසුම මිලින්දගේ නිෂ්පාදනයක් විය.

2003 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වන මිලින්ද අවසාන වශයෙන් රනිල්ගේ පැරදුන ජනාධිපතිවරණයට සහයෝගය දෙන්නේය. එම ජනාධිපතිවරණයේ දී සොල්හයිම් හා බාලසිංහම් සමග එල්ටීටියේ ඡන්ද වර්ජනය වලකා ගැනීමට තිරය පිටුපස සාකච්ඡා පැවැත්වුයේ මිලින්ද ය. නමුත් රනිල්ගේ මිලින්දගේ බහට වඩා මහින්දගේ ටිරාන් කියන ලද දෙයට එල්ටීටිය නැමුනේය. මහින්ද, එල්ටීටියේ වර්ජනයට පින්සිදු වන්නට රනිල් පරදා ජයගත්තේය.

ඉන් පසුව රනිල් සමග ඇති කරගත් විරසකයක් හේතුවෙන් මහින්ද ජනාධිපතිවරයාගේ පිළට එකතුවන මිලින්ද, මහින්දගේ පිළෙන් කොළඹ මහනගර සභාවේ පුරපති අපේක්ෂකයා ලෙස තරඟ කොට පරදින්නේය. එතැන් සිට මහින්ද ගේ නිල නොලත් උපදේශකයකු ලෙස ක්‍රියා කරමින් යුද සමයේ දී මහින්දගේ ආන්ඩුව හා අමරිකා එක්සත් ජනපදය අතර සබඳතා ගොඩනඟන්නට අසාර්ථක උත්සාහයක නියැලුනේය. මිලින්ද, මහින්දට තමන්ම මාර්කට් කරගෙන තිබුනේ අමරිකානු සෙනෙට් මන්ත්‍රී වරුන් සමඟ තියුණු සබඳතා සහිත එකම ලාංකිකයා ලෙසටය. ඇතැම් විචාරකයන් මිලින්ද හඳුන්වා තිබුනේ මෙරට සිටින එකම බලවත් සිඅයිඒ නියෝජිතයා ලෙසටය. කෙසේ නමුත් මහින්ද තම පාලන කාලය තුල මිලින්දට කිසිදු බරපතල වගකීමක් ලබා නොදෙන්නට වග බලාගත්තේය. නමුත් සැමවිටම මහින්දගේ චින්තනයට පිටින් ගිය ගෝටා තමන් ජනපතිවු සැනින් මිලින්ද ඉන්දියාවට යැවන ලද්දේ කැබිනට් බලතල සහිත ශ්‍රී ලංකාවේ තනාපති වරයා ලෙසටය.

එසේම පාර්ත් ෆයින්ඩර් නමැති තම සංවිධානේ සිටි ගෝලයා විදේශ අමාත්‍යංශයේ ලේකම් තනතුරටද ගෝටා හරහා පත් කර ගන්නේය. සැබැවින්ම ගෝටා රජයේ නිල නොලත් විදේශ ඇමති වරයා වුයේ මිලින්ද බව දන්නෝ දන්නා කාරණයකි. ජී. එල්. විදේශ ඇමති ලෙස සිටියේ නාමිකව ය. ජීඇල් ගෝටා සමග විරසක වන්නේ මේ හේතුව නිසාය. ගෝටාගේ පැනයාමත් සමග මිලින්ද නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එසේම අලුත් දේශපාලන ගමනක් යෑමට ද මිලින්ද සිය කබාය මසමින් සිටින බවක් ද පෙනෙන්නට තිබේ. ධම්මික පෙරේරා සිය ජනාධිපති අපේක්ෂකයා කරන්නට පාරම්බෑ පොහොට්ටු ලොක්කන් එම උත්සාහය අතහැර දැන් දැන් මිලින්ද පිළිබඳ සිය අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වෙමින් තිබේ.

පොහොට්ටුවට අනුව මෙවර ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් නොවන බව ඉර හඳ මෙන් විශ්වාසය. රනිල් තරඟ නොකරන කල චන්දයට දැමිය හැති හොඳම අපේක්ෂකයා මිලින්ද මිස ධම්මික නොවන බව පොහොට්ටුවේ ඉහළ මාලයේ සිටින නායකයන්ගේ මතය වී තිබේ. එම ඉලක්කය සහිතව මිලින්ද සමග පැවැත්වු සාකච්ඡා තුළ ප්‍රගතියක් තිබෙන නිසා මිලින්ද විසින් ජනවාරි අග දී හෝ පෙබරවාරියේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන්නට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරති.

මිලින්ද එස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්නට තරම් දක්ෂතාවක් දක්වන තැරැව්කරුවකු බව ප්‍රකටය. ඔහු යටතේ තිබෙන පාත් ෆයින්ඩර් ආයතනය එකවර චීනය මෙන්ම ඉන්දියාව සමග ද ගනුදෙනු කරමින් සිය ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන ගණනක් උපයා ගත්තේය. එල්ටීටිය සාකච්ඡා පවත්වන සමයේ දී එල්ටීටියට බලගතු ගුවන්විදුලි සම්ප්‍රේෂණ උපකරණ ලබා දීමට නෝවීජියානු රජය සමග එකඟ වී ඊට හිලව් වශයෙන් තම ආයතනයට බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 250 ක් ලබා ගත්තේ ය. රටවල්-රටවල් අතර තැරැව්කරුවකු ලෙස කුප්‍රකට මිලින්ද මොරගොඩ මහතා පොහොට්ටුවේ පිහිටෙන් රටේ ජනාධිපති වුවහොත් කුමක් කරනු ඇතිදැයි සිතා බැලීම විනෝදජනකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *