මෛත්‍රීගේ සහායට ආ දයාසිරිත් විජේදාසට එරෙහි වෙයි. තිලංග එක්ක දයාසිරි ශ්‍රීලනිප නායකත්වයට ඉව අල්ලයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය මගින් තහනම් කිරීමෙන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිප කණ්ඩායම වැඩබලන සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කරගත් අතර, මෛත්‍රීගේ පාර්ශවයෙන් විජේදාස රාජපක්ෂ පත් කළත් සභාපතිකමේ ඉඳගන්නට විජේදාසට අධිකරණයෙන් ඉඩක් නොලැබිණ. ඒ අස්සේ මෛත්‍රීගේ පාර්ශවයේ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාලගේ තනතුර ද තහනම් විය.
දැන් චන්ද්‍රිකා, සිරිපාල, අමරවීර, අලගියවන්න, දුමින්ද කණ්ඩායම විසින් වැඩබලන ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පත් කරගෙන තිබේ. මෛත්‍රීපාල පාර්ශවය අසරණ වී තිබේ. විජේදාසට යන එන මං නැති වී තිබේ. අනුන්ගේ පක්ෂයට බලෙන් කඩා වැදී සභාපතිකම් ගන්නට ගිය විජේදාසට හතර අතින් ගැරහුම් ලැබෙමිනි.
දැන් මෛත්‍රීපාල පාර්ශවය වෙතින් පක්ෂ තහනමට ලක්ව සිට යළි මෛත්‍රීපාල වෙත සමීප වූ දයාසිරි ද, තිලංග සුමතිපාල ද, අලුත් පොටකට සූදානම් වෙමින් සිටී.
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ මතුවී ඇති අර්බුද විසඳාගැනීම සදහාත්,පක්ෂය නැවතත් ජයග්‍රාහී මාවතට රැගෙන එමින් ඉදිරි ප්රතිසංවිධාන කටයුතු සිදු කිරීම සදහාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල සහ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර යන අය, පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්, ආසන සංවිධායකවරු,පක්ෂයේ ක්රියාකාරිකයන් ඇතුළු පිරිසක් එක්ව 2024 අප්‍රේල් 25 වැනිදා පොදු එකගතාවයකට එළඹ තිබේ.
දයාසිරි මේ එන්නේ ශ්‍රීලනිප නායකත්වයට ඉව අල්ලමිනි. ඒ බව තිලංග සුමතිපාල විසින් මාධ්‍ය හමුවේ දී නොකියා කියයි.
පක්ෂයේ සාමාජිකත්වය නොදරන අහසින් ආ කිසිම කෙනෙකුට පක්ෂයේ නායකත්වය ගැනීමට කිසිදු අවස්ථාවක් නැති බවත් ඉදිරියේදී පක්ෂයේ සියලුදෙනාගේම කැමැත්තෙන් ඝෘජු හා නිවැරදි තීන්දුවක් ගත හැකි හොඳ කශේරුවක් තිබෙන දක්ෂ නායකයෙකු පක්ෂය තුළින්ම බිහිකර ගන්නා බවද තිලංග සුමතිපාල එහිදී සඳහන් කරයි.
ඔහු එහිදී වැඩිදුරටත් කියාසිටියේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබුණද දයාසිරි ජයසේකරට ද ඒ සඳහා හොඳ අවස්ථාවක් ඇති බවය. පක්ෂයේ නායකත්වය භාරගැනීමට ඔබ කැමතිදැයි මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකරගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ මේ ඒ පිළිබඳ කතා කිරීමට සුදුසු අවස්ථාව නොවන බවත්, මුලින්ම කළ යුත්තේ ජනතාව පිළිගන්නා දක්ෂයන් සහ දූෂණයෙන් තොර පුද්ගලයන් යළි පක්ෂය වටා ගොනුකර ගැනීම බවය.