රංගේ..! උම්බෑ නොකියා ඉන්නවද ඔයා?

රංගේ..! උම්බෑ නොකියා ඉන්නවද ඔයා?

රංගෙ බණ්ඩාර මහලේකම් තුමා සිය පාක්ෂිකයන් අමතා අනුරාධපුරයේ දී කල වගාඩම්බර කතාව කන වැකුනු අපට ජනශ්‍රැතියේ එන කතා දෙකක් සිහිපත් කර සිටී. එක කතාව වන්නේ නයා පොලේ ගිය කතාවයි. අනෙක කළුවා මාරපනට ගිය කතාවයි. එජාපය මේ වන විට ඉතිහාසය විසින් කුණු බක්කියට විසිකොට තිබේ.

එජාපය අද දුවන්නේ තමන් විසින් ගොඩනඟාගෙන ඇති මහජන බලයකින් නොවේ. එම බලය පිං බලයක් වන්නේය. එය රනිල් විසින් රාජපක්ෂ පවුල සමග ඇති කොට ගෙන ඇති රහස් එකඟතාව තුළ දිනාගත් පිං ජනාධිපති කමක් වන්නේය. එය පහදා ගැනීමට හෝ ඉස්පාසුවක් නැති රංගෙ බණ්ඩාර කතා කරන්නේ නොදැන කතරගම යන්නටය.

රනිල්ගේ ජනපති බලය සමාන වන්නේ නිවෙන පහනකට ය. රටේ ජනදුක පිළිබඳ අවම සංවේදි බවක් හෝ රටේ පතුලටම කිඳී පවතින දූෂණය නැති කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති රනිල් ගත කරන්නේ ඔහුගේ ධුරයට හිමි අවසාන කාලයයි. එවන් පසුබිමක රනිල් නැවත බලයට ගෙන එන්නට කතා කරන එජාපයේ මහලේකම් වරයා සිටින්නේ සිහින ලෝකයක ය. මහලේකම්ට එම සිහිනය දකින්නට සියළු අයිතිය තිබුණත් මේ රටේ විකල්ප දේශපාලන බලයක් ගැන විශ්වාසයක් තබමින් කටයුතු කරන දේශපාලන ප්‍රවාහයන්, දෙකේ කොලයට දමා කතා කරන්නට රංගෙ බන්ඩාරට අයිතියක් ඇත්තේම නැත්තේ ය.

තමන්ගේ තරම නොදැන කරන මෙවැනි හරසුන් කතා තුළින් පෙන්වන්නේ එජාපයේ සහ එම පක්ෂයේ මහලේකම් වරයාගේ තකතිරුකමයි. එම තකතිරුකම සමාන වන්නේ මාරපන ගිය කළුවාගේ කතාවට ය. කළුවාට මාරපනට යන්නයි කී සැනින් මාරපනට යන්නට ගිය කළුවා තමන් එසේ යන්නේ කුමකටදැයි දැන සිටියේ නැත. රයිගමට ලඟාවු කළුවාට තමන් එසේ දුරතර ගෙවා පැමිනියේ නිශ්ඵල, අරමුණකින් තොර කාර්යයකට බව තේරුම් ගියේ ගමන අවසානයේදී ය.

රංගෙ බණ්ඩාර රනිල්ව ජනාධිපති කරන්නට යන්නේ ද එලෙසටය. රංගේ හිතන්නේ රනිල් හැර වර්තමාන දේශපාලනයේ යෙදෙන සියළු දෙනා අනාථයන් බවය. ඔවුනට රනිල්ගේ සරණ හැර වෙනත් පිහිටක් නැති බව ය. පොලේ ගිය නයා සිතුවේද මෙලෙසින්ය. අහිගුණ්ඨිකයා මුදල් හම්බකරගන්නේ තමන් නිසා බව නයා හිතුවේය. නයා කල්පනා කළේ අහිගුණ්ඨිකයා නොමැතිව තමන්ට ගමනක් තිබෙන බව ය. එසේ කල්පනා කළ නයා, අහිගුණ්ඨිකයා මරා තමන් තනිවම පොලට ගියේය. එසේ තනිවම පොලට නයාට අත්වු ඉරණම අප දන්නේ ය.

රංගේ හෝ රනිල් හෝ එජාපයේ බොහෝ දෙනෙක් හිතන්නේ ජවිපෙන් එන අභියෝගය හමුවේ විකල්ප දේශපාලන ප්‍රවාහයන් විසින් රනිල්ව ස්වේච්ඡාවෙන් වැළඳගනු ඇති බවට ය. රංගේ හදන්නේ එම හිතළුව මත රනිල්ව පොලේ යවන්නට ය. රනිල් පොලට ගියවිට මුහුණ දෙන තත්ත්වය අපට කල් තබා මෙනෙහි කර ගත හැකිව තිබේ. එම නිසා මහලේකම් බණ්ඩාරට අප කියන්නේ උම්බෑ නොකියන ලෙසට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *