රනිල්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මකරු හරස් වේ !!

රනිල්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මකරු හරස් වේ !!

ජනාධිපති වීමට පෙර සිදු කරන අවසන් විදෙස් සංචාරයට අනුර කුමාර දිසානායක සහභාගී වී සිටියි,  ඒ ජපානයේය.  මාස 20 ක් ඇතුලත ඔහු සිදු කල 15 වන විදෙස් සංචාරය එය වන අතර, 2019 දී ගෝඨාභය රාජපක්‍ෂට මෙන්ම ඔහුටද ඡන්දය ලබා දීමට ලාංකික ඩයස්‌පෝරාව මෙරට පැමිණීම ට මග බලා සිටින වග මාලිමා ආරංචි මාර්ග පවසයි. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී එලෙස ලංකාවට පැමිණි මේ විදෙස්‌ගත ලාංකිකයන් ගෝඨාභය ට ඡන්දය දී නැවත ඔවුන් පදිංචිව සිටින රටවලටම ගිය අතර, ඔවුන්ගේ ඡන්දයේ ආනිශංස විඳගන්නට සිදු වූයේ මෙරට වෙසෙන ජනතාවටම බව මෙහිදී අමතක කළ යුතු නොවේ.

සජිත් ප්‍රේමදාසට නම් ඔය මොන රටකින්වත් පැමිණෙන ලෙස ආරාධනා නොලැබුන අතර, දිනපතා රූපවාහිනී ප්‍රවෘත්ති විකාශවල නම කියවා ගැනීම සඳහා ඔහුට සිදුව ඇත්තේ අති විශාල පිරිවැයක් දරමින් පාසල් වලට ඩිජිටල් තිර ලබා දීමටය. යහපත දරුවන්ට නිසා  අදාළ කටයුත්ත තුළ සජිත් සිදු කරනා දේශපාලන කථාව අසා සිටිමින් වුවත් එම අවස්ථාව ලබා ගැනීමට පාසල් කටයුතු කරමින් සිටියි.

මේ අතරවාරයේ ගෙවුනු සති අන්තයේ ලංකාව තුළ සිදු කළ ප්‍රධාන දේශපාලන රැස්වීම් දෙක වූයේ පොහොට්ටුව බිංගිරියේ දී සිදු කළ එක සහ රනිල් වික්‍රමසිංහ ට ජනාධිපතිවරණය ට තරඟ කරන්න යැයි ආරාධනා කොට ප්‍රසන්න රණතුංග කළ කඩවත රැස්වීම ය.

දෙවැන්න වඩා  සුවිශේෂ වූයේ මහින්ද රාජපක්ෂ ගේ සුවච ගෝලයන් වූ මහින්දානන්ද අලුත්ගමගේ,  ප්‍රසන්න රණතුංග,  ලොහාන් රත්වත්තේ ආදිය රැස්වීම අමතමින් තම සහය රනිල්ට පල කිරීමත් ඡන්දයට ඉදිරිපත් වන ලෙස ආරාධනය කිරීමත්ය.

නමුත් රනිල් වික්‍රමසිංහ රැස්වීම අමතමින් කියා සිටියේ තමන් එම ඉල්ලීම සලකා බලන්නම් කියාය.

මෙච්චර සෙනග ගෙනත් දිනවලා දෙන්නම් සර් කියා කැට තියා පෙන්වලා කියද්දිත් රනිල් පස්ස ගහන්නට තවත් හේතුවක් මේ අතර වෙනත් තැනක නිර්මාණය වෙමින් පැවති අතර ඒ බව රනිල් ද දැනුවත් වී තිබිණ. එම කාරණය පසුව මාධ්‍යයට ආරංචි වූ අතර, ඒ අන් කවරක්වත් නොව උතුරු නැගෙනහිර දමිළ දේශපාලන පක්ෂ වලින් දමිළ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණය ට ඉදිරිපත් කරන බව සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමය.  තීරණාත්මක ලෙස සියලුම දමිළ පක්ෂ එයට සම්බන්ධ වී සිටින අතර, සුමන්තිරන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පමණක් ඊට අත්සන් කර නැත.

මෙම දේශපාලන තීරණය රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධ ව ඉතාම තදින් බැඳී පවතින්නකි.  මන්ද මෙම උතුරු නැගෙනහිර දමිල දේශපාලන පක්ෂ හරහා ඒවායේ වෙසෙන ජනතාවගේ ඡන්ද කවදත් රනිල්ට හිතවාදීව වැටුන ඒවාය. දැන් ඔවුන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යනු රනිල්ට එම ඡන්ද නොලැබී යාමකි.  ජනාධිපතිවරණ තුළ දී රනිල් වික්‍රමසිංහ කවදත් විශ්වාස තැබූ ඡන්ද ගොනුව වූයේ මෙයයි. මෙවර ද ඔහු ඡන්දයට ඉදිරිපත් වීම ගැන ධනාත්මකව කල්පනා කර තිබුණේ මේ උතුර නැගෙනහිර ඡන්ද සජිත්ට හෝ අනුරට නොව තමාට නිසා මොනා නැතත් තමන් බිංදුවෙන් පටන් ගන්නේ නැත යන විශ්වාසයි.  අනිත් අතට රනිල් වික්‍රමසිංහ අනිකුත් දේශපාලන පක්ෂ සහ බලවේග වල සහය ලබා ගන්නට සිටියේ මෙම උතුරු නැගෙනහිර ඡන්ද ගොනුව පෙන්වමිනි. දැන් ඔහුට එසේ අනුන් කේවල් කිරීමේ හැකියාවද නැති වී යයි.  දැන් ඔහුට ලංසලාට, ශ්‍රිලනිපට, සජබ එන්න ඉන්න අයට, පොහොට්ටුව ට පෙන්වන්නට ඔහුව දිනවන ඡන්ද ගොනුව නැත.

පෙනෙනා විදියට මෙය මාලදිවයිනේදී කලා මෙන් සිදු කරන මකරුන්ගේ මැදිහත්වීමකි. මකරුන්ට ඇමරිකාව,  IMF එක ප්‍රිය නැත, එබැවින් රනිල්ද ප්‍රිය නැත. මකරුන් සිටින්නේ දැන් පැලවත්තට පිදේනි තට්ටුව පුදමින්ය.  එය දැන් කාලයක සිට කරමින් සිටින්නකි.

එබැවින් ප්‍රසන්නලා, මහින්දානන්දලා කොතරම් බුලත් දී කථා කලද රනිල් ජනාධිපතිවරණ පෝරුවට ගොඩ වෙන්නට දැන් ඉතින් දෙතුන් වතාවකට වඩා සිතනු ඇත. ඔහුට එසේ සිතමින් තීන්දුවක් ගැනීමට ආදර්ශයක්ද ඔහුට කවදත් උදව්වට සිටි  ඇමරිකාවෙන් ලැබුනු අතර  –  දිනන්නට බැරි බව අවබෝධ කරගත් ජෝ බයිඩ්න් ඇමරිකානු ජනාධිපතිවරණ සටනින් ඉවත් ව කමලා හැරිස් තම අනුප්‍රාප්තිකයා ලෙස නම් කලේය – දැන් ඔහු විශ්‍රාම යන්නේ මහින්ද රාජපක්ෂ මෙන් පැරදුනු ජනාධිපතිවරයෙකු ලෙස නොවේය.

රට අර්බුදයට යමින් තිබුන මොහොතක එයට තාවකාලික විරාමයක් දෙමින් යම් තැනක රට නවතාලන්නට සමත් වූ ජනාධිපති ලෙස වන ගෞරවය දරමින් බයිඩන් ගිය මග යන්නට රනිල්ට ද තවමත් අවස්ථාව ඇත. නමුත් රජා හෙලුවෙන් බව දැන දැනත්  – හරි ලස්සන ඇඳුමයැයි කියන සහ හැමදාම එහෙම කියලා පුරුදු  –  ප්‍රසන්නලා,  මහින්දානන්දලා ලඟ තබා ගෙන නම් රනිල්ට ඒ තීන්දුව ගත නොහැක,  කළ යුත්තේ 2015 දී ත් කලා මෙන් ඇතුලු හදට කන් දීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *