රනිල්ගේ සෙවණේ ඉන්න මුසම්මිල්ගේ, පුතා පොලීසියෙන් කට්ටි පනී.
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් විසින් සිදු කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තරුනියක තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වැල්ලවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඒ අනුවම් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබේ. හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දී මෙම පහරදීම සිදු කොට ඇති බව වාර්තා වන අතර, ඊයේ අළුයම 1 ට පමණ එම මහල් නිවාසයට පැමිණ ඇති මුසම්මිල්ගේ පුත්‍රයා එම තරුණියට පහර දී තිබේ. පහරදීමෙන් බරපතල තුවාල ලද අදාළ තරුණිය කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව ද වාර්තා වේ.
මෙලෙස පහර කෑමකට ලක්ව ඇත්තේ ‘අනිකා විලියම්සන්’ නමැති තරුණියකි. අදාළ තරුණිය එම මහල් නිවාස සංකීර්ණයේ තනිවම වාසය කර ඇති අතර, ඇය විවාහ වී සිටින්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සමගිනි. එමෙන්ම ඇය මෙරට ප්රමුඛ පෙලේ සමාගමක හිමිකරුවෙකුගේ දියණියක බව ද වාර්තා වෙයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඒ.ජේ.එම්. මුසම්මිල් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව, කොල්ලුපිටිය සහ කැප්පෙටිපොල ප්‍රදේශවල පිහිටි ඔහුගේ නිවාස පරීක්ෂා කළ ද, සැකකරු එම ස්ථානවල රැඳී සිට නැත. පොලීසිය පවසන්නේ අදාළ සැකකරු පොලීසිය මග හරිමින් සැඟව සිටින බව ය. පොලීසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා ඇති අතර, ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද, ලබාගෙන තිබේ.
සැකකරු සොයා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙමින් පවතී. මෙම පහරදීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර, පෞද්ගලික ආරවුලක් මීට හේතු වී ඇති බවට සැක කෙරේ.
ඒ.ජේ.එම්. මුසම්මිල් යනු එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදී පිල දිගු කාලයක් තිස්සේ නියෝජනය කළ කොළඹ නගරාධිපතිවරයා ලෙස ද ක්‍රියාකළ පුද්ගලයෙක් වන අතර, රාජපක්ෂලා සමග ද ඔහු කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩ කරන සමයේ ය. රාජපක්ෂලා සමග සම්බන්ධ වන ඔහු ආණ්ඩුකාර පදවි ලබන අතර, රනිල් විසින් ඔහුව තනතුරුවලින් ඉවත් නොකරන්නේ පැරණි හිතවත්කම් නැවත පණ ගැන්වී ඇති නිසා බව නම් මේ දකින සිද්ධි අනුව පෙනී යන කරුණකි.