රනිල් ඉදිරිපත් නොවන ජනාධිපතිවරණයක් පෙන්වා මඩිය තර කරගන්න තනන රනිල්වාදියෝ!
රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට කිසිසේත්ම ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2023.11.28 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.
“මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණෙකට එන්නෙ නැහැ. කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා බලයි වෙන කොහෙහරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ.”
එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ද බල අරගලයකි. රවී කරුණානායක මහලේකම් ධුරය ඉල්ලයි. එයට වත්මන් මහලේකම් රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් විරෝධය පල කරයි. මහලේකම්කම නුදුන්නොත් පිරිසක් එකතු කරගෙන පක්ෂය කඩාගෙන යන බව රවී කියයි. රනිල්ට ජනාධිපතිවරණයක් තබා ඊළඟ මහ මැතිවරණයක් ගැනවත් විශ්වාසයක් නැත.
ඒ අස්සේ දෙරණ රූපවාහිනිය තවත් පුවතක් අනාවරණය කළේය. එනම්, රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයකට නම් නොඑන බව තමන් කැට තියා පවසන බව රාජපක්ෂ පවුලේ ඥාතියෙකු හා හිටපු තානාපතිවරයෙකු ද වන උදයංග වීරතුංග කියන බව ය. පොහොට්ටුවේ සහාය නැතිව රනිල්ට කෙසේවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් නැත. එජාපය දැන් ඒ තරම් ශක්තිමත් තත්ත්වයක නැති වීම ඊට හේතුවයි. බල අරගල එක්ක එජාපය අද දිය වී යාම ආසන්නයේ ය. රනිල්ගේ ජනාධිපතිකමට මුවා වී යන්තම් ‘අලියා’ පණ රැකගෙන සිටී. උදයංග කියන්නේ මෙහෙම ය.
“ජනාධිපතිවරයා ගැන නම් විශ්වාසයක් නෑ. රටේ ණය බර වැඩි වුණේ යහපාලන කාලයේ දී. මේ රටේ වැඩිම ණය කන්දරාවක් ඇති කළේ යහපාලන කාලයේ. නමුත් අද අපේ පක්ෂය ජනාධිපතිතුමාව තෝරගෙන තියෙනවා. ඒ නිසා එතුමාගේ ධුර කාලයේ අපි සහයෝගය දක්වනවා. නමුත් ආර්ථිකය එතුමා හදයි කියන එක ගැන මගේ විශ්වාසයක් නෑ. පොහොට්ටු පක්ෂෙන් ජනාධිපතිවරණයට පොහොට්ටු පක්ෂයේ කෙනෙක් එනවා. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂයෙන් එන්නෙ නෑ. අන්න ඒ අනාවැකිය මං එදත් කිව්වා. ඒ වගේම ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ එන්නෙ නෑ කියන එක මං අද කැට තියලා කියනවා”
මහලේකම්කමට කෙළ හලමින්, රනිල්ව ජනාධිපති අපේක්ෂක කරන බව රවී කියද්දී වජිරලා තවත් වැඩක් පටන් ගෙන තිබේ. ඒ නුදුරු දිනයක කොළඹ, Flower Road හි HSBC එකට යාබද ව විශාල ගොඩනැගිල්ලක් මිලට ගැනීම එහි පළමු කටයුත්ත වී තිබිණ. ඒ රනිල් වික්‍රමසිංහගේ ඊනියා ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපෘතියේ ප්රචාරක කාර්යාලය ලෙස භාවිතා කරන්නටය. මේ සඳහා ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මාධ්‍ය අංශය ද බරට ම වැඩ කරමින් සිටින බව ද වාර්තා වේ.
පොහොට්ටුව පාර්ශවයෙන් සහයෝගයක් ද නොමැතිව, පක්ෂ අභ්‍යන්තරයේ බල අරගලයක් ව අවුල් වියවුල් ව සිටිය දී, රටේ බහුතර ජනතාවගේ සහයෝගයක් ද රහිතව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ අදහසක් රනිල් වික්‍රමසිංහ සතු නොවන බව පැහැදිලි ය. එදා විමල් වීරවංශ ‘හූනා කියන්නා සේ’ කියූ දෙයත්, අද උදයංග වීරතුංග ‘කැට තබා කියන’ දෙයත් සත්‍ය වන්නේ එබැවිනි.
ඒ අතර, රනිල් වික්‍රමසිංහ පිටුපස සිටින රවීලා, වජිරලා දත කන්නේ, ජනාධිපති අපේක්ෂක කැරට් අලය පෙන්වා රනිල් වික්රමසිංහව අන්දවාගෙන තම මඩිය තර කර ගන්නට ය. කැම්පේන්වලට වියදම් වන මුදල් ගැන වග කියන ආකාරය ගැන වටේ සිටින කුප්‍රකට හොරුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත.