රනිල් එක්ක ඉන්නෙ ස්ථාවර ආණ්ඩුවක් ඕන නිසා. එයාගෙ ප්රතිපත්ති වෙනස්. මහින්ද බදු බර අඩු කරන්න කතා කරයි
මේ මොහොතේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද, වත්මන් ආණ්ඩුවේ ප්රධානියා මෙන්ම රාජ්ය නායකයා ද එම පක්ෂයේ ප්රතිපත්තියට වඩා වෙනස් ප්රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙයි.
බදු අඩු කළ යුතු යන ඉල්ලීම ඉතාමත් ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බවත් බදු බර අඩු කළ විට පුද්ගලයින්ට මෙන්ම සමාගම්වලට වියදම් කිරීමට හා ආයෝජනය කිරීමට ඇති මුදල් ප්රමාණය වැඩි වන බව ද මහින්ද ප්රකාශ කරයි..
ඒ අනුව, අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය ලබාදෙන පක්ෂයේ බදු ප්රතිපත්තිය හා ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්ත ද එය නිවැරදි දත්ත මත පදනම් වූ තීරණයක් විය යුතු බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබේ.