රනිල් – සජිත්   මැදින්  කැපෙන පාරකට ඉඩක් !!

රනිල් – සජිත්   මැදින්  කැපෙන පාරකට ඉඩක් !!

බාලගිරි දෝෂය වැළඳී තිබෙන ලංසා පිලේ  – සමහරුන්ට ලංසා යැයි කී විට අපුල ගතියක් ඇත, ඒ අපුල ලංසාගේ අවුලක් නොව ඒ ගතිය ඇතිවන්නවුන්ගේ අභ්‍යන්තර අවුලකි  – එහෙම නැත්නම් අනුර යාපා පිලේ සන්ධාන කෙරුවාව කෙමෙන් කෙමෙන් දේශපාලන සමාජය තුළින් අතු ගෑවී යමින් තිබිණ.

මීට මාස තුන හතරකට පෙර හැදීමට නියමිතව තිබූ සන්ධාන අතරින් වඩා විශාල දේශපාලන බලයක්, පිරිසක් සහ දේශපාලන විභවයක් සහිතව ගොඩ නැගෙන්නට නියමිතව තිබුණේ මේ ලංසාලා අනුර යාපලා ගොඩ නගන්නට කැස කැවූ සන්ධානයයි.

ඒ සඳහා ඔවුන්ට අමතරව ශ්‍රිලනිපය එහි ආණ්ඩුව තුළ සිටින පාර්ශවය සහ චම්පිකලා ද එක්ව ලැහැස්ති වෙමින් තිබිණ. විශේෂයෙන්ම මේ සන්ධානය ගොඩ නැගිණි නම් පොහොට්ටුවේ සැළකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් රාජපක්ෂ ග්‍රහණයෙන් මිදී මේ නව සන්ධානය සමඟ එක්වීමේ අවකාශයක් නිතැතින්ම නිර්මාණය වනු ඇත.

හුදු බැලූ බැල්මට මේ සන්ධානය ගොඩ නැගෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් යැයි පෙනුනද ඒ වන විටත් එහි අභ්‍යන්තර කථිකා වල කියැවී තිබුණේ අපේක්ෂකයා කවුරුන්ද යන්න වග තීරණය වන්නේ මතුවන තත්වයන් මත ගොඩ නැගෙන සන්ධානයේ නායකත්ව මණ්ඩලය හරහා බවය.

මෙම සන්ධානය ට සානුබල සපයනු වස් චම්පික රණවක විසින් ආදරවන්තයන්ගේ දිනය දා පක්ෂ රැසක ප්‍රබලයන් එක තැනකට ගොනු කරවමින් වෙනස්ම ආරක රැස්වීමක් ද, කළේය.  ඒ සන්ධානය ගොඩ නැගෙන පොදු අවම වැඩපිළිවෙළක් ද එලි දක්‌වමිනි.

තත්ත්වයන් මෙසේ තිබියදීය මෛත්‍රීපාල සිරිසේන නැවතත් බෝම්බයක් පත්තු කළේ. ඒ පාස්කු සිදුවීම මුල්කරගෙන ය. එතනින් පසු ශ්‍රිලනිපය තුළ කලබාගෑනි රැසක් සිදු වූ අතර ප්‍රතිපලය වූයේ ගොඩ නැගෙන්නට නියමිත වූ සන්ධානයට කණ කොකා හැඬලීම සහ ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ලංසා මන්ත්‍රීවරයා ඇතුලු සෑම පාර්ශවයකම නියෝජිතයන් දුර්මුඛ වීමයි.

දැන් නැවතත් මෙම සන්ධානය ගැන දේශපාලන සමාජය තුළ අවධානයක් ඇති වී ඇත, ඒ ඊට අයත් පාර්ශව කීපයක ප්‍රබලයින් විසින් පැවැත් වූ සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත දැක් වූ අදහස් සමඟ ය. අනුර යාපාට අනුව හැදෙන සන්ධානය මන්ත්‍රීවරුන් 70 ක පමණ එකතුවක් විය හැකි වනු ඇති අතර, දුමින්ද දිසානායක ට අනුව කවුරු ජනාධිපති වෙන්නත් මේ සන්ධානයේ සහය අවශ්‍ය වනු ඇත. සුසිල් ප්‍රේමජයන්ත ට අනුව එම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ ද වෙනත් අයෙක්ද යන්න තවම තීරණය කරන මට්ටමක නැත.

අපට අනුව ඉහත මන්ත්‍රීවරුන් තුන් දෙනාම කී දේවල් විය හැක. රාජපක්ෂ ග්‍රහණයේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගොඩ වීමට තැනක් අවශ්‍ය වන මොහොතක ඔවුන් තෝරා ගනු ඇත්තේ මෙම සන්ධානයයි,  එමෙන්ම මෙම සන්ධානය තුළ සිටින අරටු බැහැගත් දේශපාලකයන්ට දිස්ත්‍රික්ක මට්ටමින් තමන්ගේම කියා වෙන් කරගත් ඡන්ද පදනම් ඇත. හම්බන්තොට අමරවීර ද,  කුරුණෑගල යාපා ද ඊට උදාහරණ ය. එමෙන්ම තවමත් ජනතාව තුළ කැමැත්තක් නැති රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් අලුත්ම අපේක්ෂකයකු ගෙන ඒමට මෙම සන්ධානයට හැක. එය එසේ වුවහොත් සජිත් – ජලනි – ලක්ෂ්මන් විය ගසේ ගැට ගැසී ඇති සජබ මන්ත්‍රීවරුන් ද ලෙහෙනු නැත්තේ යැයි කාට කිව හැකි ද ??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *