රැල්ලට දුටුගැමුණුලාට ඡන්දය දුන් සහ දෙන්න ඉන්න ජනතාවගේ අවධානයට..!

රැල්ලට දුටුගැමුණුලාට ඡන්දය දුන් සහ දෙන්න ඉන්න ජනතාවගේ අවධානයට..!

සහරාන්ලාගේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් මතින් බලයට ආ ගෝඨලාගේ ප්‍රචාරක ව්‍යාපෘතියම පදනම් වී තිබුණේ ජාතියේ ආරක්ෂාව ය. ‘රට රකින අපේ විරුවා – මව්බිමට පෙමින් සැමදා’ කියාගෙන එනවිට ලංකාවේ බහුතර මහජනයාගේ රෝමෝද්ගමනය වේගවත් විය. එනම් මයිල් කෙළින් විය. එනයින් විශාල රැල්ලක් ගෝඨාභය ඉල්ලා සිටියේය.

ජාතික වීරයන්ට දේශපාලන භූමිය තෝතැන්නක් විය. ජාතියේ මුර දෙවිවරු නිරන්තරයෙන් ම පහල වෙමින් පැවතිණ. රංගනය සඳහා දුටුගැමුණුට ඇන්ද උද්දික පුතාලාට ද, මැති සබයට රිංගන්නට විසාල ‘චාන්ස්’ එකක් උදා විය. ඒ විමල් වීරවංසලාට පුරුදු හැඟීම්බර කතාව සහ ඊනියා ජාතික වීර කාව්‍යය උත්කර්ෂයට නගමිනි. රණවිරුවන් ද, නලුවිරුවන් ද, වීරවංසගේ පක්ෂය හරහා පාර්ලිමේන්තුවට රිංගුවේ රැල්ලට ඡන්දය දෙන ජහමනයාගේ කර මතිනි. වේදිකාවේ මයික් පලන, මීඩියා හරහා පුම්බන, ඔසොවා තබන ඕනෑම හිස් චරිතයකට ලංකා දේශපාලනයේ ඉදිරියට යා හැකි බවට හොඳම උදාහරණය වූයේ වැඩ බැරි ගෝඨාභය රාජපක්ෂ ය. ඒ ගෝඨා රැල්ල අස්සේ අද ඉල්ලා අස් වී තිබෙන උද්දික ප්‍රේමරත්න ද පාර්ලිමේන්තුවට රිංගුවේ ය.

එහෙම රැල්ලට ඡන්දය අරගෙන රටේ ජනාධිපති පදවියට පත් වූ ගෝඨාභය රාජපක්ෂට සිදුවූයේ තම ධුර කාලයෙන් වැඩි කොටසක් ගෙවෙන්නටත් මත්තෙන් පැන යන්නට ය. ඒ වැඩ බැරි ටාසන් කෙනෙක් නිසා ය. ජාතික වීරයන්ට ඇඳගෙන ඡන්දය ගත්ත ද, ඔවුන්ට හැකියාව ඇත්තේ රංගනය සහ කටින් බතල දඬු හිටවීම පමණක් නිසා ය. ඒත් ලංකාවේ මහජනයා නම් පාඩමක් ඉගෙන ගෙන නැත.

එසේ රැල්ලට යට වී ඡන්දය දුන් මහජනයාගෙන් කොටසක් රොත්ත පිටින් ම දැන් ආයෙත් කයිවාරුව පමණක් තිබෙන, වැඩබැරි ටාසන්ලා පිරිසක් පසුපස යමින් සිටින බව පෙනේ. ඔවුන් රඟන්නේ ද, ගෝඨා කරේ තබාගෙන රඟන රැඟිල්ලමය. ඒ කයිවාරුකාරයන් පිරිස ද, මේ රැලිවලට අහුවෙන මහජනයාව මුරුංගා අත්තේ තබාගෙන ගමන් කරන්නේ ඡන්දයෙන් දිනන්නට ය. වේදිකා පැලෙන්නට සාහිත්‍ය කතා ය. සිංදු ය. වීර කාව්‍ය ය. හැඟීම්බර දෙඩවිලිය. මීඩියා ප්‍රචාරණය ද ජනතාවගේ හදවතට නොව ස්වයං වින්දනය ම සඳහා ය. කොටින්ම 2019 යළි මතක් කිරීමකි. රැල්ල පසුපස යන ජනතාවගේ පිහිටෙන් පාර්ලිමේන්තු යන්නට දුටුගැමුණුලා, විහාරමහාදේවීලා රොත්තක් ම සැදී පැහැදී සිටී.

හදන රැලිවලට මුලා වී ගෝඨාභයගෙන් කෙළවා ගත්තේ ඡන්දය දුන් පිරිස පමණක් නොවේ. රටම බංකොලොත් තත්ත්වයට පත් වී ජනතාව පාරට වැටුනේ ය. ඉන් සිදුවූ හානිය ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත. දැන් ඒ රැලිවලට අහු වී ඡන්දය දුන් සහ ඡන්දය දීමට බලාපොරොත්තු වන මහජනතාව සිහියට ගත යුත්තේ, හැඟීම්බර කතාවලින් හෝ දුටුගැමුණු රංගනවලින් රැවටී ඡන්දය ලබාගත් වැඩබැරිදාසලා වන, හිටපු ජනාධිපති ගෝඨා ජනාධිපතිකමත් දමා පලා ගිය බව ය. උද්දික පුතාලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද හැර දමා පලා ගිය බව ය. තව මෙවන් දුටුගැමුණු, විහාරමහාදේවි චරිත වලට ඇඳපු, කටින් බතල හිටවන සෙට් එකක් පාර්ලිමේන්තු එන්න wholesale ලෑස්ති වී සිටිනා බව ය. ඔවුන්ගේ අනාගත කතාව ද ගෝඨලාගේ, උද්දික පුතාලාගේ ද කතාව ම වන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *