වංචාව, දූෂණය, නාස්තිය දේශපාලන මාතෘකා පමණක්ද?

වංචාව, දූෂණය, නාස්තිය දේශපාලන මාතෘකා පමණක්ද?

මේවා දේශපාලනයේ මාතෘකා බවට පත්ව තිබේ. තව දුරටත් පිරික්සීමේදී මේවා අද ඊයෙක ඇරඹි දෙයක් නොවන බව පෙනී යයි. අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 10% ක් පමණ වාර්ෂිකව දූෂණයට ලක්වන බව මීට කලකට පෙර මහ බැංකු අධිපතිවරයකු වූ නෙවිල් කරුණාතිලක මහතා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ගත්කල වසරකට ඇ.ඩො.බිලියන 7.4 ක් පමණ දූෂණයට ලක් වේ.‍ රුපියල් වලට පරිවර්තනය කලවිට ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියනයක් පමණ ය.

2022 අප්‍රේල් රට බංකොලොත් වනවිට රටේ මිනිස්සු පාරට ඇවිත් කිව්වේ හොරා කාපු සල්ලි දියව් කියාය.

දූෂණයෙන් ඉපැයූ ධනය ආපසු ගන්නට එවකට පැවති අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත ශක්තිමත් නොවුනි. ඒ නිසාම අල්ලස් කොමිසම මාලු නැති මාලු පාන් වගේ විය.

මේ අල්ලස් පනත ගෙනාවේ 1994 දී බලයට පත් දූෂිත දේශපාලකයන් ගෝල්ෆේස් වල ප්‍රසිද්දියේ එල්ලන්න පොරොන්දු වූ පක්ෂයේ නීතී විශාරද ජී.ඇල්. පීරීස් ය. ඔහු පාර්ලිමේන්තුව අමතා කීවේ දූෂණය යන වචනය තමන් මේ පනත මගින් ලංකා නීතීයට හදුන්වා දුන් බවය. ඊට පෙර තිබුණේ අල්ලස් පනත පමණි.

2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට අත්සන් කෙරිණ. එයින් කරුණු 05ක් කියැවිණි. දූෂණය වීමට පෙර වැලැක්වීමට පියවර ගැනීම, දූෂණය අපරාධ වරදක් කිරීම, දූෂණය මැඩලීමට අන්තර් ජාතික සහයෝගය දීම, දූෂණය මැඩලීමට තාක්ෂනික සහාය දීමට හා යම් රටක පුද්ගලයකු දූෂණයෙන් ඉපැයූ වත්කම් තම රට තුළ ඇත්නම් ඒවා අදාළ රටට පවරා දීමට යන කරුණු 05 ට මෙම සම්මුතියෙන් එකඟ වී ඇත.

2004 අත්සන් කල මෙම සම්මුතිය ලංකාවේ නීතීයක් වෙන්න පාර්ලිමේන්තුවෙ සම්මත කල යුතු වේ. එහෙත් 2004 සිට 2022 දක්වා මෙය කිසිවකු කතා කළේ වත් නැත. මේ සම්මුතිය අරගල භූමියෙන් කරලියට ගෙනාවේ සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය විසිනි.

2022 රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසුව මූල්‍ය අරමුදල ද මෙම සම්මුතිය දේශීය නීතීයක් කරන්නට බලකර තිබූ අතර විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට හා ජනාධිපතිවරයාටත් විපක්ෂයේ බොහෝ පක්ෂවලටත් එය සම්මත කිරීමේ උවමනාව තිබිණ.

බැසිල් රාජපක්ෂලාගෙ කකුලෙන් ඇදීම් හමුවේ ද 2023 අංක 09 ලෙස දූෂණ විරෝධී පනත සම්මත විය. 2023.09.15 සිට පනත බලාත්මක විය. මේ පනත මගින් රාජ්‍ය අංශයේ පමණක් නොව පුද්ගලික අංශයේ දූෂණ වලට එරෙහිව පවා කටයුතු කළ හැකිය.

දූෂණය මැඩලීම සම්බන්ධව ලෝකයම පිලිගත් නීති මේ පනතේ ඇතුලත් ය. දූෂණයට විරුද්ධ අපි 2023 වසරේ අවසන් මාස 04 තුල මහා පරිමාණ දූෂණ, වංචා, අක්‍රමිකතා 100 ක් පිළිබඳ පැමිණිලි කළෙමු. එය එම වසරේ අල්ලස් කොමිසමට ලද මුලු පැමිණිලි වලින් 1/9ක පමණ ප්‍රමාණයකි. එයින් 50ට වැඩි ප්‍රමාණයක් දැනට විමර්ශන ක්‍රියාත්මක වේ.

ඇතැම් දේශපාලන පක්ෂ දූෂණ ෆයිල් තමන් අතේ ඇති බවත් තම ආණ්ඩුවක් ආ පසුව අදාල අයවලුන් හිරේ දාන බවත් කියමින් වේදිකා දෙවනත් කරති. මිනිස්සු මේවාට අත්පොලසන් දෙති. බලාපොරොත්තු ඇති කර ගනිති.

මේ දූෂණ විරෝධි පනතේ සුලු අඩුපාඩුකම් කිහිපයක් අපට ද නිරීක්ෂණය විය. දූෂණ විරෝධි ඔස්තාර් පක්ෂයට ඒවා නෙත නොගැටීම පුදුම සහගතය. ඒවාගෙම පනත ගැන විවාදය මොහොතේ දූෂණ විරෝධියා ලෙස ජනයා සලකන නායකයා කිව්වෙ දූෂණ මැඩලීමට පවතින නීතී ප්‍රමාණවත් බවය. අවශ්‍ය දේශපාලන සංස්කෘතියේ වෙනසක් බවය. දූෂණ විරෝධී නායකයා නව නීති හදන වෙලාවෙ කිව්වෙ එහෙමය.

දැන් වේදිකාවේ කියන්නේ එක එක දේශපාලකයන් දූෂණ සම්බන්ධව හිරේ දාන හැටිය. ඒ කුමන නීතීයක් යටතේ දැයි කියන්නේ නැත.

අධිකරණයට නඩුවක් ගිය විට පැමිණිල්ල ඉදිරිපත් කල කාලය වැදගත් වේ. දිගු කලක් ඒ පැමිනිල්ල පමාවීම දූෂිතයාගේ වාසියට හිටියි. අනෙක නම් අතන මෙතන රැස්වීම් වල ඕපා දූප ප්‍රබන්ධ රස කර කර කියනවා වගේ උසාවී වල බොරු කියන්න බැරිය. හරස් ප්‍රශ්න අහන්නෙ නීතිඥයින් විසිනි. ඇරත් නව දූෂණ විරෝධි පනත අනුව බොරු පැමිණිලි කිරීමත් දඩුවම් ලැබෙන වරදකි.

ඉතින් ඒ අමාරු හරි පාර වෙනුවට වෛරී ජන්ද ගන්න මිනිස්සු ඉදිරිපිට එක හත කර බලා හිටියා වගේ බොරු කීම සමහරක් පක්ෂ කලාවක් කරගෙන ඇත.

ඊනීයා ජනකාන්තවාදයෙන් මිදී අපේ යුතුකම අපි කරමින් ඇත. 2024.09.15 වන විට දූෂණ විරෝධි පනතට වසරක් පිරෙන විට මහා පරිමාණ දූෂණ, වංචා, අක්‍රමිකතා නාස්තීන් 1000 ක් ගැන පැමිණිලි කර අවසන් කිරීමට අප කටයුතු කරනු ඇත.

ඔය දූෂණ විරෝධය පෙන්නා ජන්ද හොයන පක්ෂයට 2024-25 ආණ්ඩු බලයක් නොලැබුනහොත් ඔය ළඟ තියෙනවා කියන ෆයිල්වලින් වෙන්නේ කඩල ගොටු ගහන්නය.

ඇතැම්විට ඒ පක්ෂ පවතින රාමුවෙන් පිට සිය කාඩරය මගින් නඩු ඇසීමෙන් දඬුවම් දෙන්න හිතනවා නම් මේ අණ පනත් අවශ්‍ය නොවේ. කාම්බෝජයේ පොල්පොට් යටතේ මෙන් නඩු විසඳීමට හැකිය. අපි ඒ ක්‍රමයට කැමති නැතත් ඒ පක්ෂය විශ්වාස කරන ජනයා ඊට කැමතිනම් ඉඩ දිය යුතුය.

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *