වැඩ බැරි රනිල් නිසා නට්ටං වන සජබ අප්පුහාමිලා !!
පහුගිය කාලය තුළ අනුර හිටියේ දිනලා වූවාට දැන් ඒ තැන ගෙන ඇත්තේ සජිත්ය. සජිත් දැන් ඉන්නේ ෆුල් චූන් එකේය. සජිත් ඉන්නේ ජනාධිපතිට ඇඳලා නම් ලක්ෂ්මන් ෆොන්සේකා ඉන්නේ මලික් සමරවික්‍රමට ඇඳගෙනය. මේ දෙදෙනාගේ ඉහට ගසා ඇති රස්නය කෙතෙක්ද යත් සජබ නැමති දාම් පෙතේ ඉත්තන් එහෙට මෙහෙට කරන්නෙත් කපා පැත්තකට කරන්නෙත් සුදු ඉත්තෝ වෙනුවට කලු ඉත්තන් පෙතට ගෙන එන්නෙත් පක්ෂය යනු තමන්ට සෙල්ලම් කරන්න ඕනෑ හැටියට අටවා ගත් එකක් ලෙස සලකමිනි.
එසේ කිරීමට ඔවුන් දෙදෙනාටම පුලුවන් කමක් ලැබී ඇති ප්‍රධානම හේතුව වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ නොහැකියාව සහ බල ලෝභය යි. රාජිත සහ ෆොන්සේකා එක්ක සජබ 18 ක් තමන් ගාවට එනවා යැයි රනිල් ගැසූ පම්පෝරිය අතේ රෝලක් බව දැන් පෙනී ගොස් අහවරය. රාජිත සහ ෆොන්සේකා ඒ බොරු වලට අඩිය තැබූ අතර සිද්ධ වුනේ ෆොන්සේකාව සජබ සභාපති ධූරයෙන් මෙන්ම කැලණිය සංවිධායකකමිනුත් නෙරපා හැරීමයි.
රනිල්ගේ බැරියාව නිසා සහ සජබෙන් කවුරුත් නොයන බවට තියෙන තක්සේරුවත් නිසා සජිත් – ලක්ෂ්මන් දෙපල සජබ තුළ සිදුකරන ප්‍රතිසංස්කරණ වලින් හොඳටම බැට කන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුය. රාජිතව නැවත පක්ෂයට ගන්නේ නැති එක ස්ථීරය, ඔහු එන එකට ජගත් විතානලා දැනටමත් යුධ ප්‍රකාශ කර ඇත.
ඊලඟට ගිය වර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වී මෙවර නැවත පාර්ලිමේන්තු එන්නට බලා සිටින සජබ ගොඩ නගන්නට මහත් වෙහෙසක් ගත් අජිත් පී පෙරේරා බණ්ඩාරගම ආසන සංවිධායක ලෙස සිටියදී පොහොට්ටුවේ බණ්ඩාරගම මන්ත්‍රී ලලිත් එල්ලාවල පක්ෂයට ගැනීමට සජිත් – ලක්ෂ්මන් කටයුතු කළේය. පානදුරට සංවිධායක වරු දෙදෙනෙක් සිටියදී ඊයේ පෙරේදා ආ ජෙනරාල් මහේෂ් සේනානායක ටද එහි සංවිධායක ධුරය දී ඇත.
නමුත් ඊලඟට කලුතර ට සජිත් – ලක්ෂ්මන් කරන්නට යන දෙයින් මේ කලුතර දිස්ත්‍රික්කයේ සජබ ආසන සංවිධායකවරු රොත්තම කැලඹී යනු ඇත. ඒ කුප්‍රකට තිලංග සුමතිපාල ව කලුතර දිස්ත්‍රික් නායකයා කරමින් සජබට එක් කර ගැනීමය.
තමන්ගේ ජනාධිපති පුටුව ලබා ගැනීමේ කෑදර කමට එන ඕනෑම කෙනෙකුට සංවිධායක ධූර ලබා දෙමින් පක්ෂයට වද්දා ගැනීම සජිත් ප්‍රේමදාස දැන් පුරුද්දක් කරගෙන ඇත. සෑම දිස්ත්‍රික්කයකම පාහේ ආසන වල තත්ත්වය කළුතර වාගේමය.
පොහොට්ටුවේ ඡන්ද දායකයා මාලිමාව වටා ගොනු වෙද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකතු වී සිටින්නේ සජබටය. කොටින්ම පොහොට්ටුවේ සභාපති G L පීරිස්, රාජපක්ෂවරුන්ගේ ළඟම අයෙකු වන ඩලස් අද සිටින්නේ සජිත් සමඟය. ෆොන්සේකා ඉවත් කර කැලණිය සංවිධායක ධුරය දී ඇත්තේ ගෝඨාභය ගේ වියත් මගේ ලොක්කෙකු වන නාලක ගොඩහේවාටය.
ඔරිජිනල් සජබ සංවිධායකවරු මේ ඔවුනට සිදු වන අසාධාරණයට මීක් කියා කටක් හොලවන්නට හිතන්නේ නැත්තේ ඊලඟ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ගැන සිතාය. මොක කලත් සජිත් ගාවම වැටී සිටිනවා හැර ඔවුනට යන්නට තැනක් කඳවුරක් නැත. රනිල් වික්‍රමසිංහ කඳවුරට යනවා කියා සිතුවාට රනිල් ඡන්දය ඉල්ලා දිනන මිනිහෙකු නොවන වග මේ පරණ UNP කාරයන් දනී.
නමුත් මෙම තත්වයේ වෙනසක් ඇති විය නොහැකිද නොවේ. ඒ රනිල් වික්‍රමසිංහ වෙනුවට එම කඳවුරෙන් සජිත්ට අනුරට අභියෝගයක් දිය හැකි අපේක්ෂකයකු ඉදිරිපත් වුවහොත්ය.
එසේ නොවන තාක් සජිත් – ලක්ෂමන් දෙබෑයන්ට රිසි ලෙස නැටිය හැක.