වැලිගම දී සිදු වූ හරි අපූරු වෙඩි වරුසාවේ ඇත්ත නැත්ත..!

වැලිගම දී සිදු වූ හරි අපූරු වෙඩි වරුසාවේ ඇත්ත නැත්ත..!

2023.12.31 වෙනිදා අළුයම 2.30 ට පමණ වැලිගම, පැලෑන. ගාලු පාර ඩබ්ලිව් 15 හෝටලය ආසන්නයට මෝටර් රථයක පැමිණි පිරිසක් එම හෝටලයට වෙඩි වරුසාවක් එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල වූ විගස හෝටල් පරිපාලනය මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව වාර්තා විය. එම මෝටර් රථය WP PK 7225 දරන කේඩීඑච් වර්ගයේ වෑන් රථයකි. වෙඩි වරුසාව එල්ල කිරීමෙන් අනතුරුව එම පිරිස අදාළ ස්ථානයෙන් පලා යාමට උත්සාහ ගෙන තිබේ. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ නිලධාරීන් මෙයට වෙඩි ප්‍රහාර එල්ල කරමින්, මේ පාතාල කල්ලියකැයි සිතා එම පිරිස මර්දනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

පොලීසිය හා එක් වූ හමුදා නිලධාරීන් ද මෙම ප්‍රහාරයට සහාය දක්වා තිබේ. වෙඩි ප්‍රහාර මධ්‍යයේම අදාළ වෑන් රථයේ පැමිණි පිරිස පලා ගොස් ඇති අතර, එම අවස්ථාවේ වැලිගම පොලීසිය විසින් අවට පොලිස් ස්ථාන වෙත ද, මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. මෙසේ දකුණු පලාතේ පොලිස් ස්ථාන සියල්ලට ම දැනුම් දී තිබිය දී අදාළ වෑන් රථය සොයාගෙන තිබෙන්නේ ගාල්ල, ඉමදූව අධිවේගී පිවිසුම ආසන්නයේ දී ය. අධිවේගී මාර්ගය අසළ සිටි පොලිස් නිලධාරීන් වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවට පත් වූ පිරිස සඳහන් කර ඇත්තේ, තමන් දෙමටගොඩ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බව ය. එම වාහනය පරීක්ෂා කිරීමේ දී එහි ලේ වැකුණු සිරුරු දෙකක් දක්නට ලැබිණ. එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා තුවාල ලබා බරපතල තත්ත්වයේ පසු විය. එම නිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යැයි සඳහන් කළත්, ඔවුන් නිදහස් කළ නොහැකි බව පොලිස් නිලධාරීන් සඳහන් කර තිබේ. එම වෑන් රථයේ පැමිණි කණ්ඩායම භාරව සිට ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් සිල්වා ය. ඔහු විසින් උසස් පොලිස් නිලධාරියෙකුට දැනුම් දී, ඔහු විසින් අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් මේ සම්බන්ධව දැනුවත් කර ඇති අතර, අදාළ වෑන් රථයේ පැමිණි නිලධාරීන් පිරිස දකුණු පලාතට පැමිණ ඇත්තේ කිසියම් රාජකාරියකට බැවින් ඔවුන්ට යාමට ඉඩ දෙන ලෙස උපදෙස් දී තිබේ. නමුත් සියළු පොලිස් ස්ථාන වෙත මෙම වාහනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරන ලද තත්ත්වයක් තුළ, වෙඩි ප්‍රහාරයක ලේ විලක් මැද එක් අයෙක් මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා සිටිද්දී මොවුන්ට යාමට ඉඩ දීමට අධිවේගී මාර්ගයේ සේවය කරන පොලිස් නිලධාරීන් කැමැත්ත පල කොට නොමැත. මෙසේ බලපෑම් සිදු කළ ඉහළ පොලිස් නිලධාරියා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද, යන්න ප්‍රශ්නයකි. මෙබඳු අපරාධයක් සිදු වී තිබියදීත් ඒ සම්බන්ධව වැලිගම පොලිසිය විසින් අදාළ සියළු පොලිස් ස්ථාන දැනුවත් කර තිබියදීත්, මේ අපරාධයට සම්බන්ධ වාහනය මුදා හරින ලෙස බලපෑම් සිදු කිරීම බරපතල තත්ත්වයකි.

තුවාල ලද සහ මියගිය පුද්ගලයා කරාපිටිය රෝහල වෙත යැවීමට පොලීසිය කටයුතු කර ඇති අතර, මෙසේ මියගොස් ඇත්තේ දෙදරු පියෙක් වන මාතලේ, ගලේවෙල පදිංචි 46 හැවිරිදි පොලිස් නිලධාරියෙකි. අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙසේ හෝටලයකට පහර දීම බරපතල ප්‍රශ්නයක් මතුවන්නකි. මෙම හෝටලය අයත් වන්නේ ඌව පලාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන එම්.එච්. ජමාල්ඩීන් මහතාට ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 30 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වූ බවත්, ඉතිරි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දකුණු පලාතේ සිදු කරන මෙහෙයුමකට අදාළව සැකකරුවන් කිහිපදෙනෙකු මෙම හෝටලයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගිය විට එහි සිටි පුද්ගලයෙකු වාහනය දැක හෝටලයට දිවගෙන ගොස් වාහනයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඊට දුන් ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබෙන බවත් ය. මෙහිදී පැන නැගෙන ප්‍රශ්නය වන්නේ, වැලිගම පොලීසිය පැමිණ වෙඩි තබද්දී මෙම වාහනය කිසිත් නොකියා වෙඩි ප්‍රහාර මැද පලා යාමය. අවශ්‍ය නම් වැලිගම පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හැකියාවක් අපරාධ කොට්ඨාස නිලධාරීන්ට හැකියාවක් තිබිණ. එසේ නොමැති නම්, ආසන්නතම පොලිස් ස්ථානය වෙත තම රථය ධාවනය කිරීමේ හැකියාවක් අදාළ නිලධාරීන්ට තිබිණ. ඔවුන් කියන්නේ කරාපිටිය රෝහලට තුවාලකරුවන් ගෙන යාම සඳහා ධාවනය කළ බව ය. අසළ රෝහල් කිහිපයක් ම තිබිය දී කරාපිටිය රෝහල වෙත දිගු දුරක් ගෙවා යාමට උත්සාහ කිරීම ද ප්‍රශ්නයකි. අනෙක් කරුණ වන්නේ හෝටලය දෙසින් මෙම වාහනය වෙතට කිසිදු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට නොමැති වීම ය. පළමුවෙන් ම වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ කොළඹ සිට පැමිණි අපරාධ කොට්ඨාස නිලධාරීන් විසිනි.

අප වෙත වාර්තා වන ආකාරයට මෙම හෝටලයේ අයිතිකරු වන මුසම්මිල් ආණ්ඩුකාරවරයාගේ පුත් ජමාල්ඩීන් සහ පොලිස් ඇමැති ලෙස කටයුතු කරන ටිරාන් අලස් අතර, ඉඩම් ආරාවුලක් පවතී. මෙම සිද්ධිය ඇති වී තිබෙන්නේ රාජකාරි ප්‍රශ්නයක් නොව මෙවන් පුද්ගලික ප්‍රශ්නයක් නිසා බව තහවුරු වී තිබේ. ජමාල්ඩීන් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් සඳහා මෙසේ අපරාධ කොට්ඨාස නිලධාරීන් පැමිණ ඇති බව දැනගන්නට තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය දරන්නේ චූදිතයෙකු වන සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ය. බොහෝ රහසිගත අපරාධවලට චෝදනා ලද පුද්ගලයෙකි.

ටිරාන් සහ ජමාල්ඩීන්ගේ කෝන්තරය මෙසේ ය. කොළඹ මල් පාරේ තිබෙන ඉඩමක් ටිරාන් අලස්, දුමින්ද සිල්වා සහ තවත් උසස් පොලිස් නිලධාරියෙක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කර තිබේ. එම ඉඩමේ නීත්‍යානුකූල හිමිකරුවා වශයෙන් සිට ඇත්තේ ඉහත හෝටලයේ අයිතිකරු වන ජමාල්ඩීන් නම් පුද්ගලයා ය. මේ ඉඩම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර නඩුහබ සහ නිරන්තර ගැටුම් ද ඇති වී තිබේ. එම ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය සැළකිය හැකි ය. මෙම වෛරයේ ප්‍රතිඵලයක් ලෙස ජමාල්ඩීන් ඝාතනය කොට අදාළ දේපල අත්පත් කරගැනීම ටිරාන් අලස්ගේ අරමුණ වී තිබේ.

මෙම හෝටලයට යාබද ව තවත් හෝටලයක් පිහිටා තිබේ. එම හෝටලයේ අයිතිකරු වන්නේ මාතර මහ නගර සභාවේ හිටපු පොහොට්ටු නගරාධිපතිවරයෙකි. එම හිටපු නගරාධිපතිවරයා ද, වෙඩි ප්‍රහාරය එල්ල වූ ජමාල්ඩීන්ගේ හෝටලය අතර ද, විරසකයක් පවතී.

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ අර්බුදයේ දී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙක් ලෙස පත් කරන ලද්දේ ද, මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ හෝටලයේ අයිතිකරු වන ජමාල්ඩීන් ය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පැන නගින තවත් බරපතල ප්‍රශ්නයක් වන්නේ, කිසියම් මෙහෙයුමක් සඳහා යම් ප්‍රදේශයකට නිලධාරීන් පිටත් කරන විට එම ප්‍රදේශයට අයත් පොලිස් වසමේ පොලිස් ස්ථානය ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු නමුත්, එබඳු කිසිදු දැනුම් දීමක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කර නොමැති වීම ය. මෙසේ ටිරාන් අලස්ගේ පුද්ගලික කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා එසේ එන බව දැනුම්දීමක් සිදු කරන්නේ කෙසේ ද?පුද්ගලික පළිගැනීම් සිදු කිරීම සඳහා අද පොලිස් ඇමැති ටිරාන් අලස් නීත්‍යානුකූල පොලීසිය, පාතාල පොලීසියක් බවට පත් කරගෙන තිබෙන බව පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *