විජේවීර භෞතිකව මරා දැමූ ‘තෝරේ’ සමග අධ්‍යාත්මිකව මරා දැමූ ‘හඳුන්’

විජේවීර භෞතිකව මරා දැමූ ‘තෝරේ’ සමග අධ්‍යාත්මිකව මරා දැමූ ‘හඳුන්’

මාංචු දමා, දැස් බැඳ තිබු සිරකරුවාගේ අතින් ඇද ජීප් රියෙන් එළියට ගත් කර්නල් තෝරදෙණිය මෙසේ අලුත් ප්‍රශ්නයක් ඇසුවේ ය.

“මිස්ටර් විජේවීර, තමුසෙට මරණ බය දැනෙන්නේ නැද්ද?”

“නෑ, මට දැනෙන්නේ නෑ. …..!”

“ඒ ඇයි..?”

“…………..”

ඒ හරියටම මීට වසර 33 කට පෙර නොවැම්බර් මාසයේ 13 වෙනිදා රාත්‍රියේ බොරැල්ල කනත්තේ දී ඇසුණු දෙබසකි. එකල කර්නල් අසෝක තෝරදෙණිය රජයේ යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ය. ඊළාම් යුද්ධයට පෙර නිලලත් හමුදා නිලධාරීන් බඳවා ගැනුනේ රටේ කුලීන පාසල් වලින් පමණි. ඊළාම් යුද්ධයෙන් මරණ බයට පත් කුලීන පාසල් දරුවෝ හමුදා නිලධාරීන් වීමේ සිහිනයෙන් මිදී තිබූ නිසා කුරුණෑගල මලියදේව විද්‍යාලයට ගිය අසෝක තෝරදෙනියලා රජයේ හමුදාවලට ආකර්ෂණය වී වේගයෙන් ඉහල නගිමින් සිටියහ. දේශපාලකයන් පවරන ඔනෑම පක්කලි සේවයක් කිරීමට ඇබ්බැහි වී සිටියහ.

විජේවීර ඝාතනයට එකවර ඉල්ලක්කය ගැනීමට දෙදෙනෙකුටම නොහැකි විය..

1990 වසරේ අග භාගයේ එවකට හමුදාපති මේජර් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ “රෝහණ විජේවීර ඝාතනය සිදුවූ ආකාරය” ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීය. ඔහු 1989 නොවැම්බර් 13 වෙනිදා රාත්‍රියේ බොරැල්ල කනත්තේ සිටි සියළුම හමුදා සෙබළුන් ගෙන සාක්ෂි විමසා වාර්තාවක් අනාගතයට ඉතිරි කළේ ය. මේ වාර්තාව අනුව ඒ රාත්‍රියේ අත් අඩංගුවට ගැනුණු එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක හා නිර්මාතෲට වෙඩි තබා මරා දමන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ හා කර්නල් අසෝක තෝරදෙණිය යන දෙදෙනා වරින් වර වෙඩි තැබිමෙන් ය. (කවර හෝ හේතුවකට මොවුන්ට මේ ඝාතනය වෙනුවෙන් එකවර ඉලක්කය ගැනීමට නොහැකි විය.)

කුප්‍රකට රෝනී ගුණසිංහ 1993 මැයි 01 වෙනිදා ඔහුගේ කුල ඥාතියා හා නායකයා වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමඟ දෙව් සැප විඳීමට එලොව ගියේ ය. එහෙත් කර්නල් අසෝක තෝරදෙනිය මේජර් ජෙනරාල් තනතුරද ලබමින් හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. එහෙත් ඔහු පනාගොඩ නිල නිවසයේ තවත් වසර 6 ක් බලෙන් රැඳී සිටියේ ය. ඒ විජේවීර මරා දැමු පවට ජේවීපී කාරයෙක් තමා මරා දැමීමට ඉඩ ඇති බව බව කියමින් ය. එහෙත් වසර 2005 දී මහින්ද රාජපක්ෂගේ “දෑත් සවිමත් කිරීමට” ජවිපේ එකතු විය. මේ රාජපක්ෂ හවුලේ දී යලිත් විශ්‍රාමික අසෝක තෝරදෙණිය හා ජවිපෙහි තෙවැනි උප්පැත්තියේ පියා වූ සෝමවංශ අමරසිංහ හා ගෝල පිරිස හමුවූහ. එවිට තෝරදෙණිය, අමරසිංහ හා ගෝලයන්ගෙන් පරණ නායකයාගෙන් ඇසු ප්‍රශ්නයම යළි නැඟුවේ ය.

“තමුසේලාට මරණ බය දැනෙන්නේ නැද්ද?”

“නෑ සර්, අපි ආයෙත් ආයුධ දිහා බලන්නේවත් නෑ. කැරලිගහන්න හිතන්නේවත් නෑ. අපි ආවේ අර උතුරේ ආයුධ අරන් ඉන්න එවුන්ට බර අවිවලින් ගහන්න”

තෝරදෙණිය සතුටෙන් හිස සැලුවේ ය. මේ “පිංදෙණියලා” දෙස බලමින් මෙසේ ද කීවේ ය.

“එහෙම මිසක්, ඔහොම තමයි ඉන්න ඕන. දන්නවනේ අපි ඉන්නේ අනින ගොන්නුන්ගේ කර අඹන්න. නැත්නම් රටක් මේ විදිහට තියා ගන්න අමාරුයි.”

“එහෙමයි සර්…”

ජවිපේ ‘පිංදෙණියලාගේ’ හා තෝරදෙණිය ගේ යාළුකම..

මෙසේ ඇති වූ ජවිපේ ‘පිංදෙණියලාගේ’ හා තෝරදෙණිය ගේ යාළුකම කොතෙක් දුර ගියේ ද කීවොත් 2007 වසරේ අසෝක තෝරදෙණිය සූරීච් [ස්විස්ටර්ලන්තයේ] ගිය විට නවාතැන් ගත්තේ පැරණි ජවිපේ නායකයෙකුගේ නිවසේ ය….!

මෙයින් වසර කීපයකට පසු සෝමවංශ අමරසිංහ හදාවඩාගත් ගෝලයන්ට පක්ෂය බාර දී එලියට බැස ටික කලෙකින් මිය පරලොව ගියේ ය. 2010 දී  ජවිපේ ‘පිංදෙණියෝ  ‘හමුදා සරණං ගච්චාමි’ කියමින් ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති කිරීමට පොලොවේ පස් කෑහ. ඔවුන්ගේ අලුත් මිතුරා වූ අසෝක තෝරදෙණිය දෙවැනි රාජපක්ෂ ආණ්ඩුවේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කෙරුනේ ය. තුන්වෙනි රාජපක්ෂ ආන්ඩුවෙන් මාල දිවයිනේ මහ කොමසාරිස් තනතුරට පත් කෙරුණේ ය.  හිටපු ජවිපේ මංත්‍රි සුනිල් හදුන්නෙත්ති ‘පිංදෙණිය’ ‘ජවිපේ ‘එතෙර අපි’ සංවිධානය කරන්නට මාල දිවයිනට යන්නේ මේ අතරවාරයේ ය. රාජපක්ෂ වලව්වේ දී හමු වීමෙන් පසු  ජවිපේ හඳුන්නෙත්ති  පිංදෙණියට විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය හමුවෙන්නේ මාලේ පැවති ‘එතෙර අපි’ උත්සවයේ ප්‍රධාන අමුත්තන් හැටියට ය. එදින මේ ජවිපේ පිංදෙණිය, තෝරදෙණියගෙන් ඊට දශක තුනකට පෙර ස්වකීය පක්ෂයේ නිර්මාතෲගෙන් ඇසු ප්‍රශ්න පිලිතුරු කුමක්දැයි ඇසුවේ නම් මෙහෙම පිලිතුරක් ලැබෙන්නට ඉඩ තිබුණි.

“මම මිස්ටර් විජේවීර තමුසෙට මරණ බය දැනෙනේ නැද්ද කියල ඇහුවම ‘හඳුන්’ මිනිහ මෙහෙම උත්තරයක් දුන්නේ”

“නෑ මම දැනගෙන හිටිය අහුවුනොත් මරණ බව. මම දැනගෙන නොසිටියේ දවසයි වෙලාවයි විතරයි. මම මරණයට බය වුනානම් ඔහේලගේ ආණ්ඩුවලට විරුද්ධව දෙපාරක් ආයුධ ගන්නේ නෑ.”

“හඳුන්, තමුසෙල එහෙම නූන එක කොච්චර නිදහසක් ද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *