විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා සාධාරණ සමාජයක් වෙනුවෙන් ‘කරු’  දරන අලුත්ම උත්සාහය රනිල්ගේ පිල්ලි වැඩක්ද?

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා සාධාරණ සමාජයක් වෙනුවෙන් ‘කරු’ දරන අලුත්ම උත්සාහය රනිල්ගේ පිල්ලි වැඩක්ද?

මෙරට දැනට බලපවත්වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන බුද්ධිමය තර්කයක් මෙන්ම සටන් පාඨයක් ද පවතී. එය පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ අප රටේ දේශපාලනය තුල බලපවත්වන්නකි. එම තර්කය ඉදිරිපත් කරන්නේ ක්‍රම වෙනසක් හා යහපාලනයක් සඳහා පෙනී සිටින ලිබරල් මතධාරී කඳවුරයි. එම ලිබරල් මතයට ජවිපෙ ද බොහෝ විට අනුගත වී තිබුනේය. සැමවිටම ඔවුන්ගේ එම කරුණු ඉදිරිපත් කිරීම තුල යුතෝපියාවක් තිබුන ද, ඒ තුළ සාධාරණ තර්කයක් තිබෙන බව කිවයුතුව තිබේ. මෙවර රනිල් උත්සාහ දරන්නේ ඉහත මතය වෙනුවෙන් පෙනී සිටින්නන් නැවත වෙස් ගන්වා නැටුමක් නැටවීමට ය.

රටේ අවාසනාවකට මෙරට දේශපාලනයේ ඉතිහාසය වන්නේ සැම විටම හරි දෙයක් වැරදියට කිරීමයි. එකී ඉතිහාසය තුල ඉහත කී සාධාරණ තර්කය සැම විටම මෙරට දේශපාලකයන් භාවිතා කොට ඇත්තේ සටන් පාඨයක් ලෙස තම තමන්ගේ බල අරමුණු දිනාගැනීමට ය. ඒ බව පළමුව තහවුරු කරන්නේ 1994 දී ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසිනි. චන්ද්‍රිකා ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සමග අවබෝධතා ගිවිසුමකට ද එළඹුනේය. 2005 මැතිවරණයේ දී මහින්ද මෙන්ම රනිල් ද, තම ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනපති ක්‍රමය වෙනස් කිරීමට සපථ කළේය. එසේ සපථ කල මහින්ද 18 වැනි සංශෝධනය ගෙන එමින් තමන් ව්‍යස්ථාපිත රජකු තැනීමට අවැසි බලය ලබා ගත්තේය. 2015 දී සිරිසේන තම කේන්ද්‍රීය සටන් පාඨය ලෙස ඉදිරිපත් කලේ යහපාලනය ගොඩනැගීමට හා ඒ සඳහා ජනපති ක්‍රමයේ වෙනසක් ඇති කිරීමටය. සිරිසේන ජනපති 19 වන සංශෝධනය ගෙන එමින් ජනපති බලය අඩුකල ද, එය අහෝසි නොකළේ ය.

2005 දී ක්‍රමය වෙනස් කිරීමට සපථ කළ ද රනිල් ඊට පෙර චන්ද්‍රිකාගේ විධායක ක්‍රමය වෙනස් කිරීමට ගෙන ආ 2000 ව්‍යවස්ථා යෝජනා පාර්ලිමේන්තුව තුළ ගිනි තිබ්බේය. රනිල් අගමැති ලෙස 2015 දී ව්‍යවස්ථාව වෙනස් කරන්නට පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථ සභාවක් ද පිහිට වූ නමුත් එය යථාර්ථයක් කර ගැනීමට කිසිදු වෙහෙසක් නොගත්තේය. රනිල් මෙවර වැඩ බලන ජනාධිපති වූ කල ද 21 වන සංශෝධනය හරහා අවශ්‍ය නම් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට ඉඩ තිබුනේය. ජනපීඩක වැට් බදු පැනවීමට පොහොට්ටු මන්ත්‍රීන් එකතු කරගත්තේය. නමුත් 21 යටතේ ජනපති ක්‍රමය වෙනස් කරන්නට එම මන්ත්‍රීන්ගෙ සහාය ගන්නට රනිල් උත්සාහයක් හෝ නොදැරුවේය.

එදා රනිල් සිතුවේ ඉදිරි ජනාධිපතිවරණයත් ජය ගෙන තව වසර 05 කට රජ වෙන්නට ය. නමුත් ජවිපෙය රනිල්ගේ සිහිනය බොඳ කරමින් සිටින බව පසුව රනිල් ඒත්තු ගත්තේය. කතරගම යන්නට සිටින සිටි රනිල්ට තමන් අතරමං වු සෙයක් ජවිපෙ නැගීම නිසා දැනෙන්ට පටන් ගෙන තිබේ. ඇති කරුට කර ඇති යෝජනාවෙන්ම ඒ බව පෙනී යන්නේය. පලාත් පාලන ඡන්දය හරහා ජවිපෙ බලය ගනීවි යයි සැක කල රනිල් ආර්ථික අර්බුදය පිටුපස සැඟවී පොඩි ඡන්දය පැවැත්වීම චප්ප කොට දැම්මේය. නමුත් මෙවර රනිල්ට එවැනි වික්‍රමයක් කල නොහැකිය. මන්ද යත් ජනාධිපති චන්දය පැවැත්වීමේ කාලවකවානුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නියම කොට ඇති නිසාය. යම් හෙයකින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම රනිල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පවා හේතුවන බව රනිල් දන්නේය. එසේම ජේ ආර් මාමා කලාක් මෙන් ලාම්පු කලගෙඩි සෙල්ලමකට යන්නට මෙය කාලය නොවන බවද ඔහු දන්නේය. ඒ නිසා දැනට ඉතුරුවී තිබෙන හොඳම හා පහසුම තුරුම්පුව ජනපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ඉදිරියට ගැනීමය.

එසේම එම සටන් පාඨය කරේ තියාගෙන යාමට කරු ජයසුරිය නමැති සට්ටැඹියකුද රනිල් සතුව තිබේ. නමුත් සටන් පාඨයෙන් එපිටට ගොස් අගමැති ක්‍රමයට යන්නට නම් ජනමත විචාරණයකින් ව්‍යවස්ථා සංශෝධනය අනුමත කළ යුතු ව තිබෙන බව අමතක නොකළ යුතුය. ඒ නිසා රනිල්ගේ මෙම උත්සාහය සෙප්පඩ විජ්ජාවක්ද විය හැකි වන්නේය. ජවිපෙ දිනන නිසා ජනපති චන්දයට කනා ගසන්න හදන රනිල්ට එවැනි ජනමත විචාරනයක් තුලින් දිනන්න වන්නේද නැත. එම උත්සාහය යම් හෙයකින් යතාර්ථයක් විය හැක්කේ ජනපති ක්‍රමය වෙනස් කරන්නට පවත්වන ජනමත විචාරණයකට ජවිපෙ සහයෝගය ලබා ගන්නට හැකි වන්නේ නම් පමණකි.

බොහෝවිට රනිල් ගේ සැඟවුනු අමුත්තා ලෙස භුමිකාවක් ගෙන යන අනුර හරහා ජවිපෙ සහාය රනිල්ගේ ජනමත විචාරනයට ගත හැකි යයි රනිල්ට විශ්වාසයක් තිබෙන්නට පුළුවන. රනිල්ගේ ගැටයට ජවිපෙ හසුවන්නට ද ඉඩ ඇති ඉඩකඩද ඉහලය. මක් නිසාද යත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ තර්කය තුල ජවිපෙ මේවන විටත් එල්බගෙන සිටීමය. අනෙක ජනාධිපතිවරනයකින් ජවිපෙට ජයගැනීමට ඇති හැකියාව පිළිබඳ ජවිපෙට පවතින යතාර්ථවාදී තක්සේරුව ද මෙවැනි තීන්දුවකට බලපාන්නේය. ජය ගැනීමේ ඉහළ සම්භාවිතාව රනිල්ගේ ගැටයට හසුනොවීමට හේතුවනු ඇත. ජය ගැනීමේ පහළ සම්භාවිතාව තුළ රනිල් අනුව නොගිය ද ජනමත විචාරණයට ජවිපෙ වක්‍ර සහාය හිමි වීමේ සම්භාවිතාව ද ඉහළ යන්නේය. ඒ අර්ථයෙන් රනිල්ගේ පිල්ලිය වන කරු ජයසුරියට ඇත්තේ ක්‍රියාවලියට උත්තේජනයක් ලබා දීම පමණකි. නමුත් රනිල්ගේ උත්සාහයට ජවිපෙ සහාය නොලැබෙන්නේ නම් කරුට සහ සාධාරණ සමාජ ව්‍යාපාරයට වන්නේ රනිල්ගේ හොද්ද තමන්ගේ ඇඟේ හලා ගැනීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *