විමල් – අනුර එක මිටට

විමල් – අනුර එක මිටට

විමල් වීරවංශ යනු ලංකා දේශපාලනයේ සෑහෙන කලක් රජුන් තැනූ කථිකයා වී සිටියේය.  ජවිපෙන් තීරණාත්මකව වෙන්වීමට පෙර පවා තිබූ විමල්ගේ ඒ දක්ෂතාව මහින්ද ජනපති පුටුවට ඔසවා තබන්නට තරම් ඉහළ එකක් වූ බව අතිශෝක්ති කථාවක්  නොවේ.

සීගිරිත් නොගොස් ජවිපෙ වෙනුවෙන් කැඹුරූ විමල් ඒවාටත් හරියන්නට මෙන් පොලියත් එක්ක ගෙන රාජපක්ෂ ආණ්ඩු තුනකම හොඳ හොඳ ඇමතිකම් දැරුවේය.

ඇමතිකමින් එහාට විමල්ට ගමනක් තිබුණේ ය. නමුත් බිඳ වැටුන රාජපක්ෂ රෙජීමයට ඒ විමල්ගේ බලාපොරොත්තුව යටවිය.  හේ දැන් නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකි.  නමට පවතින පක්ෂය සහ ඊටත් වඩා දුබල උත්තර ලංකා සභාගය නම් වූ සන්ධානයක දැන් විමල් තනිව පසු වේ.

නමුත් තවමත් පරණ දේශපාලන කෙළි රඟ දැක්වීමට විමල් ප්‍රියය.  ඊට අදාල වටපිටාවක් ද, දේශපාලන සමාජය තුළ සැකසෙමින් පවතින අතර, බළලා මල්ලෙන් එලියට පැන්නාක් මෙන් පසුගිය දා හිරු රූපවාහිනී ආයතනයේ සලකුණ වැඩසටහන ට එක්වෙමින් විමල් මේ අලුත කෙලිය ගැන යම් ඉඟියක් දුන්නේය .

ඔහු එහිදී කියන්නේ  ….

“ඔහොම ඉන්නකෝ අප්‍රේල් වලින් පස්සේ හොඳ හොඳ දේවල් වෙනවා … ජනාධිපතිවරණයට එන්නේ දෙන්නයි…. නෑ නෑ රනිල් එන්නේ නෑ …. හරි රනිල් ආවත් කමක් නෑ …. සජිත් එන එකකුත් නෑ …. සමහර විට එයා රනිල් එක්ක එකතු වෙලා එයි…. අනුර ද , අනුර තීරණය කරන්න ඕනේ මොකද කරන්නේ කියලා…. තත්ත්වයන් වෙනස් වෙනවා…. කාටත් පිළිගන්න පුලුවන් පොදු අපේක්ෂකයෙක් එනවා….. වැඩපිළිවෙළකුත් එක්ක…. ඔව් ඔව් ඒ එන්නේ ඔය රනිල්ලාට එරෙහිව තමයි…. අපි බලමුකෝ…. මට මේ ඔක්කොම කියන්න බෑ….. නෑ නෑ මම නෙමෙයි වෙන කෙනෙක් …. ඔක්කොම ට පිලිගන්න පුලුවන් කෙනෙක්…..”

විමල් මේ කියන කතාව හිතලුවක්ද ? දේශපාලනිකව අවලංගු වී සිටින සමයක අවධානය දිනාගන්න කරන කථාවක් ද?

කවුරුන් ලංකාව තුළ මොන දේ කලත් මෙහි තීරණාත්මක බල දේශපාලනික ක්‍රියාවලිය හසුරවන්නේ ජාත්‍යන්තර බලපෑම් මතය. මේ මොහොතට අදාළව ඇමරිකාව,  ඉන්දියාව සහ චීනය ඍජුවම ලංකාවේ දේශපාලනයට බලපෑම් කරමින් සිටියී. 

ඇමරිකාව සහ ඉන්දියාව මේ වන විට රනිල් වික්‍රමසිංහ පාර්ශවය තෝරාගෙන අවසන්ය.  ඔවුන්ට තවත් වසර පහකට රනිල්ව ඕනෑය. ඒ වෙනුවෙන් ඔවුන් රනිල්ට නැති ඡන්ද ගොඩ බැසිල් සහ සජිත් හරහා ලබා දීමට අවශ්‍ය කපුකම කරමින් සිටියි..

නමුත් චීනය එලෙස පරාජය බාරගෙන නිකම් ඉන්නට සූදානම් නොවන්නේ මාලදිවයින තුළ දී ඉන්දියාව පරාජය කළ දේශපාලන ආශ්වාදයත් සමඟය. මේ මොහොතට අදාලව ලංකාව තුල චීනයට තිබෙන ප්‍රධාන ඉත්තා වන්නේ ජවිපෙ වුනාට ඒ මතු පිටට පෙනෙන දේ පමණය.  චීනය ලංකාව නැමති දේශපාලනික දාම් පෙතේ තවත් ඉත්තන් රැසක් ස්ථානගත කර ඇත. ඒ අතර ” රජ ඉත්තන්ද ” නැත්තේ නොවේ.

චීනය, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හරහා ඩලස් පිල, ශ්‍රිලනිපයෙන් කැඩුන දයාසිරි, විමල් වීරවංශ පිල, දිලිත් ජයවීර පිල ආදී තවත් කුඩා දේශපාලන කණ්ඩායම් එක් අක්ෂයකට එකතු කරමින් සිටින්නේ දැන් ටික කාලෙක සිට ය.

රනිල්ගේ ඉන්දියන් ගමන් උගුලට හසු වුනු අනුරලා ට ඔය පෙන්වන තරම් ජනතා ඡන්දයක් හෝ බලය ලැබුනොත් කරගෙන යන්න ක්‍රමෝපායන් හෝ නැති බව චීනය දනී. චීනයේ උත්සාහය ජවිපෙට ඇති එම “අඩුව” පුරවමින් ලංකාවේ ජනතාව තුල ජවිපෙට ඇතිවෙමින් පවතින ආකර්ශනයෙන් වැඩක් ගන්නටය.

විමල්ගේ කටින් පනින්නේ එම උත්සහයේ වගන්තියයි.  ලොකු සන්ධානයක් හැදෙනවා ….. අනුර දැනගන්න ඕන ඉතින් … යනුවෙන් විමල් කියන්නේ මේ විශ්වාස කළ නොහැකි කතාවයි.

ගෝඨාභය රාජපක්ෂ පොතක් පලකලේ තමාව බලයෙන් පහකල කුමන්ත්‍රණ ගැන කියන්නටය. දේශපාලන ලෝකය තුළ එම ක්‍රියාදාමයන් කුමන්ත්‍රණ ලෙස හඳුන්වනවාට වඩා බල ක්‍රීඩා ලෙස දක්වනවා නම් වඩා උචිත ය. ලංකාවේ ඉදිරි දේශපාලන සමාජය තුළ දිගහැරෙමින් පවතින එම බල ක්‍රීඩාව සූක්ෂම දෑසින් බලා හිඳීම ආශ්වාදජනක එකක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *