විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් 2023 දී පාර්ලිමේන්තුව තහනම් වූ මන්ත්‍රීවරුන් ගණන 7 ක්..!

විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් 2023 දී පාර්ලිමේන්තුව තහනම් වූ මන්ත්‍රීවරුන් ගණන 7 ක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමට එරෙහිව මහජන මතයක් ගොඩනැගෙන තත්ත්වයක් තුළ 2023 වසර තුළ දී ඔවුන් කළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවන ලදී.

2023 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන අය පාර්ලිමේන්තු සැසි සඳහා සහභාගී වීම අත්හිටුවන ලදී.

ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවන ලද්දේ, නියෝජ්‍ය කථානායකවරයාගේ අසුන දෙසට දිවගොස් ඔහුගේ මේසයට තඩිබෑම සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට බැණ වැදීම හේතුවෙනි.

තවත් සිදුවීමකදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබූ කාලය කප්පාදු කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවති විරෝධතාවයේ දී සෙංකෝලය ඇල්ලීම හේතුවෙන් 2023 ඔක්තෝම්බර් 19 වන දින සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට ස්ථාවර නියෝග 77(3) ප්‍රකාර සති හතරක් පාර්ලිමේන්තුව තහනම් කරන ලදී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය අසල ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන අයට මාසයක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීය..

තවත් සිද්ධියකදී, රත්‍රං ජාවාරම සම්බන්ධයෙන් අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු පැමිණීම මාසයක කාලයකට අත්හිටුවන ලදී.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති චමල් රාජපක්ෂ විසින් 2024 ජනවාරි 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ ප්‍රකාරව මෙම අත්හිටුවීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *