වීරවංස-ගම්මන්පිල දෙබානේ අලුත් ම නාඩගම

වීරවංස-ගම්මන්පිල දෙබානේ අලුත් ම නාඩගම

උත්තර ලංකා සභාගයේ ජන සමුළුවක් හරගම තරුණ සේවා සභා ශාලාවේ දී පෙරේදා (23) පැවැත්විණ. ශ්‍රීලනිපය මෛත්‍රීගෙන් ගලවා දයාසිරි සමග පූට්ටු කොට ශ්‍රීලනිප ඡන්ද පදනම තමන් හා එක් කරගන්නට ගම්මන්පිලලා ගන්නා උත්සාහය ඔහුගේ ම කටින් පනින්නේ මේ ආකාරයෙනි.

“නායකයෝ හදලා නායකයෝ ජනතාවගේ බලාපොරොත්තු කුඩු පට්ටම් කරලා දාලා ජනතාව දැන් හති වැටිලා ඉන්නේ. 2015 දී යහපාලනයක් හදන්න සිරිසේන මහත්තයා ගෙනාවා. ආණ්ඩුව බලයට ඇවිත් මාස දෙකක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කලා. ඒ විතරක් නොවේ ජාතික ආරක්ෂාව බිංදුවට වට්ටලා පාස්කු ප්‍රහාරය සිදු වුණෙත් ඔය යහපාලන කාලයේ දීම තමයි. දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා. අධිකරණය නියෝග කලොත් තොරතුරු හෙලි කරනවා කියලා. හිටපු ජනාධිපතිතුමනි. අපරාධයක තොරතුරු හෙලි කරන්න ඕනි පොලිසියට මිස උසාවියට නොවේ. විමර්ශන කරන්නේ පොලිසිය. ඒ නිසා වහාම ගිහින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම වරදක්. ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණයක් ත්‍රස්තවාදි ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන ඊටත් වඩා බරපතල වරදක්. වසර දහයක සිර දඬුවමක් ලබා දිය හැකි වරදක්. දයාසිරි ජයසේකර මැතිතුමනි, සිරිසේන මහත්තයා වැලිකඩට යන කොට ඩාර්ලි පාරට ගිහින් නායකත්වය භාර ගන්න දැන් ලැහැස්ති වෙන්න.”

දයාසිරි ජයසේකර ද නිරන්තරයෙන් රැවටීමට ලක් වන දේශපාලන සත්ත්වයෙක් වන අතර, තමන්ගේ ඡන්ද පදනම පෙන්වා තැනක් දිනාගන්නට යත්න දරන්නෙක් බැවින් වීරවංස-ගම්මන්පිල දෙබානට නොරැවටෙතැයි සිතිය නොහේ. එසේ වී නම්, දයාසිරි කරන්නට යන්නේ ජන මතයට පයින් ගැහීමකි. රට බංකොලොත් කරවීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ පාර්ශවකරුවන් වන වීරවංස-ගම්මන්පිල දෙබාන යළිත් මහජනතාව රවට්ටන්නට යන්නේ අලුත් මාතෘකා කරළියට ගෙන එමිනි. දැන් උන් ම ගෝඨාභය හෙනම පාවාදෙන්නෙකු බව කියයි.

“ගෝඨාභය රාජපක්ෂ තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවා දීම කලේ. අපි පසුගිය වසර 30ක් දේශපාලනය කලේ රනිල්ට විරුද්ධව. අපි ඒකාබද්ධ විපක්ෂය හැදුවේ රනිල් එලවන්න. අපි ගෝඨාභය ඡන්දයට දැම්මේ රනිල් එලවන්න. ලක්ෂ 69ක් ජනතාව ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල් එලවන්න. එයාට බැරි නම් එයා ගෙදර ගියාට අපට කමක් නෑ. නමුත් අපේ ප්‍රධානම සතුරා රනිල්ට අපි මහන්සියෙන් එලවා ගත්ත රනිල්ට ආණ්ඩුවේ නායකත්වය භාර දීම තරම් පාවා දීමක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ.

“ගෝඨාභය අතරමං කළ ලක්ෂ 69. ගෝඨාභය කුඩුපට්ටම් කරපු ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න රනිල්ට බෑ. ඒ වගේමයි. පසුගිය ජනපතිවරණයට ගෝඨා එක්ක ඡන්දය ඉල්ලුවේ සජිත් ප්‍රේමදාසයි අනුර කුමාරයි. මේ ලක්ෂ 69 ගෝඨාභයට ඡන්දය දුන්නේ සජිත් අනුර දෙන්නාවම එපා කියලා. ඒ නිසා ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න මේ දෙන්නටත් බෑ. ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න. මව්බිමට ආදරය කරන ජනතාවට නායකත්වය දෙන්න ඩොලර් වලට විකිණිලා මේ මව්බිම පාවා දෙන දේශද්‍රෝහින්ට එරෙහිව සටන් කරන්න අපේ මුතුන් මිත්තන් දිවි පුදා අපට රැක දුන් උරුමය ඊ ලඟ පරම්පරාව වෙනුවෙන් රැක ගන්න අපි නැවුම් සංධානයක් අපි බිහි කරනවා.”

දෙබානේ බළලා මල්ලෙන් එළියට බහින්නේ එලෙස ය. නැවතත් දේශප්‍රේමය අලුත් වටයකින් අලෙවි කරන්නට සූදානම් වන මේ දෙබානේ කට හැකර කතාවලට ජනතාව රැවටෙයි ද? ඒත් දයාසිරි නම් රැවටෙන්නට සූදානම් බව පෙනෙන්නට තිබේ. මේ සන්ධානය පොහොට්ටුවටත් වැඩි දූෂිත සන්ධානයක් බවට කිව යුතු නොවේ. නැවත වටයකින් ජනතාව රැවටීමට වීරවංස-ගම්මන්පිල දරන උත්සාහය පරාජය කළ යුත්තේ එබැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *