වීසා ක්‍රියාවලිය ප්‍රශ්න කළ පුද්ගලයාව කොටු කර ගැනීමේ අලස්ගේ නල්ලමලේ මහජන ආරක්ෂාව..!

වීසා ක්‍රියාවලිය ප්‍රශ්න කළ පුද්ගලයාව කොටු කර ගැනීමේ අලස්ගේ නල්ලමලේ මහජන ආරක්ෂාව..!

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (01) දිනයේ එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති ව තිබිණ. එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර, ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළ කොට තිබේ. ඒ සමඟ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ බව සඳහන් වේ.

මෙතෙක් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඊයේ (01) පස්වරු 5.00 සිට ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරිණ.

ඒ සමඟ ඉන්දීය සමාගමේ නිළධාරීන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ බව වාර්තා විය. ඒ නිසා දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර, උණුසුම්කාරී වාතාවරණයක් ඇතිව තිබිණ. මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

ඒ සදහා ඉන්දියාව, චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30ක කාළයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20ක් ද, අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50ක ගාස්තුවක් ද අය කරනු ලැබීය.

එහිදී වයස අවුරුදු 12ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කෙරිණ.

ඊයේ (01) සවස 05.00 ට මෙම වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම මගින් සාර්ක් රටවල සංචාරකයන්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව තවත් ඇමෙරිකානු ඩොලර් 22ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25ක් ද අයකරන බව පැවසේ.

මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු (Service Charge) සහ පහසුකම් සැළසීමේ ගාස්තු (Convenience Charge) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබු අතර, ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77 කි. එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25ක් අදාළ ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක් හෙවත් රුපියල් මිලියන 20,000ක ආදායමක් හිමි වන බව ඔවුහු පවසති.

ඊයේ පස්වරු 05.00 ට පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කළත් එදින රාත්‍රී 08.30 පමණ වන තෙක් දිගු පෝලිම් ඇතිව තිබිණ.

මේ ප්‍රමාදය නිසා විදෙස් සංචාරකයන් ප්‍රකෝප වී උණුසුම්කාකාරී වාතාවරණයක් ද ඇති වූ අතර, රාත්‍රී 09.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී කළහකාරී ලෙස විදේශ සංචාරකයන් හැසිරීමට පටන් ගෙන තිබේ.

ඒ හේතුවෙන් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, බුද්ධි අංශයේ නිලධාරීන් ද පැමිණ සිටියහ. පසුව මෙම ඉන්දීය පෞද්ගලික සමාගමේ නිලධාරීන් වීසා නිකුත් කිරීම රාත්‍රී 11.30ට පමණ තාවකාලිකව අත්හිටුවා, තමන් වෙත එකතු වී තිබූ මුදල් ද රැගෙන ගුවන් තොටුපොළෙන් පිටතට ගොස් තිබිණ.

වීසා ක්‍රියාදාමයේ ලියකියවිලි සම්බන්ධ කටයුතු සඳහා පමණක් අදාළ ඉන්දීය සමාගමේ සේවය ලබා දෙන බව කීවත්, ආගමන විගමන පනතට ද පටහැනිව එම සමාගමට වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරගෙන යාම සඳහා ආගමන විගමන පාලකවරයාගේ මැදිහත්වීමෙන් ගිවිසුමකට එළඹ ඇති බව ආගමන විගමන සේවකයෝ පවසති. ඔවුන් පවසන ආකාරයට අදාළ ගිවිසුමට එරෙහිව සේවකයින් තම ලිඛිත විරෝධතාව අප්‍රේල් 12 වෙනිදා වන විට පල කොට ඇති අතර, එදින සංකේත වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කර තිබේ. අප්‍රේල් 16 වන දින වනවිට මාර්ගගත (ඔන්ලයින්) වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ ඉන්දීය සමාගම මැදිහත් වී ඇති අතර, ගුවන් මගියා/සංචාරකයා පැමිණ, ලියකියවිලි ඉදිරිපත් කොට වීසා ලබාගන්නා ‘ඔන් අරයිවල්’ ක්‍රමවේදය සඳහා ඔවුන් මැදිහත් වී ඇත්තේ ඊයේ දින සිට ය. එහිදී මෙම ක්‍රියාවලිය මෙසේ නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ බව වාර්තා විය.

විදේශීය සංචාරකයන් මිලියන 2.4 ක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙතැයි අපේක්ෂා කරන අතර, මෙම වීසා ක්‍රමවේදයන් හී පවතින ගාස්තු මෙසේ ඉහළ යාමත්, සේවය අකාර්යක්ෂම වීමත් කරණ කොට ගෙන සංචාරකයන්ගේ පැමිණීම අධෛර්යය වීමේ දැඩි අවදානමක් පවතී. අත්තනෝමතික ලෙස මෙසේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වී කාර්යක්ෂම සේවයක් අහිමි කිරීමත්, පිරිවැය අධික වීමත් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට දැඩි හානියක් සිදු විය හැකි බව විශ්ලේෂකයෝ පවසති.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරන්නේ නව On Arrival වීසා පහසුකම සඳහා VFS පද්ධතිය හඳුන්වාදීම තුළින් මෙරට ජනතාවට කිසිදු අවාසියක් සිදුව නොමැති බව ය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සඳහා අනුමැතිය ලබා ගත්තේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කිරීමකින් බව ය.

මෙරට තුළ පැවති ETA පද්ධතිය තුළ නව වීසා පහසුකම් ලබාදීමේ හැකියාවක් නොමැති පසුබිමක, නව VFS පද්ධතිය සඳහා අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ බව පවසන ටිරාන් නව VFS පද්ධතිය සඳහා මෙරටින් කිසිඳු මුදලක් ගෙවීමට අවශ්‍යතාවක් නොමැති බවත්, මෙරටට පැමිණෙන සංචාරකයින් එම ආයතනයට අදාළ සේවා ගාස්තුව ගෙවීම සිදුකරන බව ද සඳහන් කළේය.

මේ ක්‍රියාවලියට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිසියට කැඳවා තිබේ.

සඳරු කුමාරසිංහ නම් වූ ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඉන්දීය සමාගමකට on-arrival වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට එරෙහිව තමන් කතා කළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ගුවන්තොටුපළ පොලිසිය විසින් තමාට කැඳවා තිබූ බවයි.

ඔහු පොලිසියට කැඳවීම ගැන තම කණගාටුව පළ කළේය.

එම ප්‍රකාශය සටහන් කරගත යුත්තේ තමන්ගෙන්ද, ජනතාව වෙනුවෙන් පෙනී සිටි අයගෙන්ද, එසේත් නැතිනම් වීසා නිකුත් කිරීම විදේශ සමාගමකට පැවරීමට තීරණය කළ අයගෙන්ද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු බව ද ඔහු පැවසීය.

ජාතික වත්කම් විකුණා දැමූ විට හඬ නැඟීමට ජනතාවට අයිතියක් තිබිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

ගුවන් තොටුපළේ දිගු පෝලිම් පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර, ශ්‍රී ලාංකිකයෙකු තම බිරිඳගේ පැමිණීමේ වීසා බලපත්‍රය අවලංගු කළ බවට චෝදනා කරමින් ඉන්දීය වීසා නිකුත් කරන නිලධාරීන්ට දොස් පවරමින් සිටියේය.

ඔහු කෑගසමින්, ඉන්දියානු ජාතිකයෙකු තම හෝ බිරිඳගේ වීසා තත්ත්වය තීරණය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස තම අයිතිවාසිකම් තහවුරු කළේය. ඔහු තම වීසා බලපත්‍රය තීරණය කිරීමට අයිතියක් ඇති බව කියා සිටි අතර, බදු ගෙවන්නෙකු ලෙස තමාගේ තත්ත්වය අවධාරණය කරමින් ඔහු සෑම වසරකම රුපියල් මිලියන 4ක් පමණ ගෙවන බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් හඬක් නැගීමට තමාට ඇති අයිතිය ගැන ඔහු අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයකට එය හැසිරවිය හැකි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය ඉන්දියානු සමාගමකට විකිණීමට ශ්‍රී ලංකා රජයට සිදු වූයේ මන්දැයි ප්‍රශ්න කළේය.

මෙසේ ප්‍රශ්න කළ පුද්ගලයාට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද ප්‍රකාශ කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *